පුවත්

පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුට සිර දඬුවම්

Published

on

පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ.

බීමතින් යතුරුපැදියක් ධාවනය කිරීමේ වරද ඇතුළුව තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පොළ මහෙස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා මෙම නියෝගය ලබා දී ඇත.

බීමතින් යතුරුපැදිය ධාවනය කිරීමට අමතරව රක්ෂණ සහතිකයක්, ආදායම් බලපත්‍රයක් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවනය කිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවන් වේ.

එහිදී අධිකරණය විසින් හිටපු මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිතව මාස දෙකක සිර දඬුවමක් සහ රුපියල් 75,000ක දඩයක් නියම කර ඇත.

මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයා ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ලෙස මෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් නාවලපිටිය ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත්ව සිටී.

සැකකරුට එරෙහිව විවිධ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් 2018 වසරේ සිට පැවැත්වෙන නඩු විභාග වලදී වරින් වර උසාවිය මග හැර තිබීම හේතුවෙන් ඔහුට විරුද්ධව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙරද වරෙන්තුවක් නිකුත් කර ඇත.

මේ අතර සැකකාර මන්ත්‍රීවරයාට සිර දඬුවම් නියමවීමත් සමග ගම්පොළ ප්‍රදේශ කිහිපයක ජනතාව රතිඤ්ඤා දල්වා ඇති බවටද වාර්තා වෙයි.

Trending

Exit mobile version