Connect with us

පුවත්

බක් පුර පසළොස්වක පොහොය අදයි

Published

on

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

බුදු රදුන්ගේ දෙවැනි ලංකා ගමනය

චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක ය. එය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. එහි ප්‍රතිඵලය වූයේ පූර්වෝක්ත සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි.

මහාවංස තොරතුරු

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංස විස්තරයෙන් සුළු කොටසක් මෙසේ ය.

මහා කාරුණිකො සත්ථා
සබ්බලොකහිතෙ ගතො
බොධිතො පංචමෙ වස්සෙ
වසං ජේතවනා ජිනො

මහා කාරුණික වූ, සියලු ලෝ වැසියන්ගේ වැඩෙහි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වඩවසන සේක.

මහොදරස්ස නාගස්ස
තථා චූලෝදරස්ස ච
මාතුල භාගින්‍යොනං
මණී පල්ලංක හේතුතං

චූලෝදර – මහෝදර යන පිරිස් සහිත වූ නාගයන් ගේ මිණිපළඟ හේතුකොටගෙන

දිස්වා සපරිසජ්ජානං
සංගාමයං පච්චු පට්ඨිතං
සම්බුද්ධො චිත්ත මාසස්ස
කාලපක්ඛෙ උපොසථෙ
පාතො යෙව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගමි

එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

අනුස්මරණීය දිනයක්

තව ද බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් මහලු රුවක් දැක, ඇත්තේ ද බක් පොහොය දිනෙක ය.

එය දැක ගැඹුරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහෝදා මළ සිරුරකුත්, ඇසළ පොහෝදා පැවිදි රුවකුත් දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්‍රකට ය. 

එසේ ම සුද්ධෝදන මහ රජු ගේ ආරාධනය පරිදි බුදු රජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. 

මේ අනුව ලංකා ඉතිහාසය මෙන් ම ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ද බක් පොහොය සදා අනුස්මරණීය දිනයක් වන බව පැහැදිලි ය.

බක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කෙරේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved