පුවත්

බණ්ඩි පොහොර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට

Published

on

වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වී කරල් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී ඇති අතර හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය මහ කන්නයේ දී වගා කළ අතර MOP පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් පමණි.

මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බව පෙනී යයි.

මේ නිසා MOP පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී ගොවි ගිණුම්වලට පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට බැර කිරීමට තීරණය කර තිබේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අද (07) සිට අදාල මුදල් ගිණුම්වලට බැර කිරීම ආරම්භ කිරීමට නියමිතය.

දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් MOP පොහොර භාවිතා කිරීම සම්බන්ධව දී ඇති නිර්දේශ අනුව එම පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්,එමනිසා මෙම පොහොර සහනාධාර මුදල් ප්‍රතිපාදන MOP පොහොර මිල දී ගැනීම ඉළක්ක කරමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

දැනට අවශ්‍ය තරම් MOP පොහොර තොග රට තුළ පවතින අතර මෙවර යල කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් පමණ වුවද දැනට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

Trending

Exit mobile version