Connect with us

පුවත්

බදු අය කර ගැනීමේදී නෛතික ගැටලු විසඳන්න විශේෂිත අධිකරණයක්?

Published

on

බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම යෝජනාවලිය  බදු අය කර ගැනීමේ  ක්‍රියාවලිය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂිත කරුණු රැසකින් සමන්විත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.‍

රාජ්‍ය ආදායම වැඩි කිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක් බවත්, එසේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමෙහිලා බදු අය කර ගැනීම විධිමත්ව සිදුකිරීම  තීරණාත්මක වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව  මේ වන විටත් බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දින 14ක් ඇතුළත අදාළ මුදල් ගෙවන ලෙස විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව ද සඳහන් කළේය. 

තවමත් මෙරට පවතින්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක් බවත් එම ක්‍රමය ද ඉතා ඉක්මණින් සංශෝධනය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා :

2022 වසර වන විට මෙ රට පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම  අඩුම රටක් ලෙසයි. එනම් 7.3%ක් වශයෙනි. නමුත් රාජ්‍ය වියදම  19 – 20% ත් අතර තිබුණා. මෙම වෙනස පියවා ගැනීමට එවක පැවති රජය උත්සාහ ගත්තා. එහිදී රට ආර්ථිකමය වශයෙන් විශාල අපහසුතාවකට පත් වුණා. මුදල් මුද්‍රණය කිරීමට පවා සිදු වුණා. රාජ්‍ය ආදායම අඩුවීම පසුගිය වසරවල මුහුණ දුන් ආර්ථික අර්බුදයට ද ‍ප්‍රධාන සාධකයක් බවට පත් වුණා.
රාජ්‍ය ආදායම වැඩි කිරීම රටේ ආර්ථිකමය වශයෙන් ප්‍රධාන කාරණයක්. රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි වන්නේ බදු වැඩි කිරීමෙන් පමණයි. සෘජුව හෝ වක්‍රව බදු අය කර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. නමුත් මේ වන විට අද බදු ක්‍රමවේදය යම් සතුටුදායක මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. මෙහිදී රටේ ආර්ථික අර්බුදය ගැන සිතා බදු ගෙවූ ජනතාවට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා. ජනතාව යම් දුරටකට රජයේ අවශ්‍යතාව තේරුම් ගෙන තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%ක් ලෙස පැවති රාජ්‍ය ආදායම  2023 පළමු කාර්තුවේදී 15.8%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය ඉතා වැදගත් සංධිස්ථානයක්. සාමාන්‍යයෙන් රජයක් සෘජු බදු වැඩි කර ගැනීමටයි උත්සාහ කරන්නේ. වත්මන් බදු ප්‍රමාණය ස්ථාවරව පවත්වාගෙන යෑමට කටයුතු කිරීමයි රජයේ අරමුණ. රජය අලුත් බදු ජනතාවට පැනවීමට බලාපොරොත්තු ‌ෙවන්නේ නැහැ.

පුළුවන් සෑම අවස්ථාවකම ජනතාවට සහන ලබාදීමටයි රජය උත්සාහ කරන්නේ. බැංකු පොලිය වැඩි වීම ගැන රජය අවබෝධයෙන් ඉන්නවා.  පසුගිය සතියේ රජය බැංකු පොලී අනුපාතය 2.5%කින් අඩු කළා. ඒ හා සමානව බදු අය කර ගැනීමේදීත් ඉදිරියේදී ජනතාවට යම් සහන දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ලක්ෂ තුනක් පමණයි බදු ගෙවන්නේ. රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට නම්  ආදායම් ලිපිගොනු ප්‍රමාණය ලක්ෂ 10ක් විය යුතුයි. එහෙම වුණොත් රටේ යම්කිසි පිරිසක් මත පනවා තිබෙන බදු ප්‍රමාණය අඩු කරන්න හැකියාව ලැබෙනවා.  බදු ලිපිගොනු ඇති කිරීමත් සමඟ වඩාත් හොඳ රාජ්‍ය සම්බන්ධතාවයක් ඇති වෙනවා. සමාජයේ කැපී පෙනෙන විද්වත් කණ්ඩායම් 14කට බදු ලිපිගොනු විවෘත කිරීමට රජය ආරාධනා කර තිබෙනවා. බදු ගෙවන්නන් රටේ ශක්තිමත් පුරවැසියෙක් ලෙස සැලකෙනවා.

ඒ වගේම රජය නිසි කළමනාකරණයකින් යුතුවයි ජනතාවගේ බදු මුදල් වියදම් කරන්නේ. බදු මුදල් වියදම් කිරීම චක්‍රලේඛ හයකින් ආවරණය කර තිබෙනවා. වත්මන් රජය තරම් කිසිදු රජයක් බදු මුදල් මෙලෙස  නිසි ලෙස කළමනාකරණය කර නැහැ. ඒනිසා කිසිදු ප්‍රශ්නයක් ඇති කරගත යුතු නැහැ. රජය මහජනතාවගේ බදු මුදල් සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

උදාහරණයක් විදිහට “අස්වැසුම සහනාධාර” ක්‍රමය යටතේ රජය උපරිම උත්සාහ කරන්නේ සුදුස්සාටම පමණක් සහනාධාරය ලබාදීමටයි. අස්වැසුම යටතේ තොරතුරු ලබාදීමේදීත් සත්‍ය තොරතුරු ලබා දිය යුතුයි. ඒ වගේම තොරතුරු ලබා ගන්නා කෙනාත් බැඳී සිටිනවා සත්‍ය තොරතුරු  ලබා ගැනීමට. මේවාට බොහෝ අය අකමැතියි. රජය විවිධ චෝදනා, අභියෝග මධ්‍යයේ කටයුතු කරන්නේ සහනාධාරය නිසි පුද්ගලයාටම ලබා දීමටයි. දේශපාලන හිතවත්කම් මත සහනාධාර ලබාදීමේ ක්‍රමය මින් ඉදිරියට නතර කළ යුතුයි.

මේ වන විට රටේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා. අපේ රටේ තිබෙන්නේ ස්වේච්ඡා බදු ක්‍රමයක්. උදාහරණයක් විදිහට යම් කිසි කෙනෙක්ගේ ආදායම අපි තමයි අහන්නේ. එතැනින් තමයි බදු අය කර ගැනීම ආරම්භ කරන්නේ. ඇතැම් විට බදු අය කර ගැනීමට යෑමේදී අධිකරණයට පවා ඇතැමුන් යනවා. එවිට වසර ගණනක අධිකරණ ක්‍රියාවලියක් සිදුවෙනවා. බොහෝ නඩු තවමත් අවසන් වෙලා නැහැ. මෙවැනි ප්‍රායෝගික ගැටලු රැසක් බදු අය කර ගැනීමේ ක්‍රමවේදය තුළ තිබෙනවා.බදු අය කර ගැනීමේ ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීමේ  අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට යෝජනාවලියක් භාරදීමට කටයුතු කරනවා. එහි බදු සඳහා පමණක් විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා.

මේ වන විට සුරාබදු නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන බදු සියයට විස්සකින් (20%) වැඩි කර තිබෙනවා.  ඒ වගේම දින 14ක් ඇතුළත  පැහැර හැර තිබෙන බදු මුදල් ගෙවන ලෙසට  මත්පැන් නිෂ්පාදන සමාගම්වලට සුවිශේෂී නියෝගයක් ලබා දුන්නා.

මේ වන විට අප රටක් ලෙස ඩොලර් බිලියන 83ක් ණයයි. එයින් ඩොලර් බිලියන 41ක් විදෙස් ණය වශයෙන් සහ ඩොලර් බිලියන 42 ක් දේශීය ණය වශයෙන් ‌ගෙවන්න තිබෙනවා. රටක් විදිහට ස්ථාවර තත්ත්වයකට පත් කර ගන්න සෑම කෙනෙක්ම යම් කැප කිරීමක් කළ යුතුයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී තාක්ෂණික කරුණු ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් දැන් අප උත්සාහ ගත යුත්තේ වැටී තිබූ රට ගොඩනැඟීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න යන විට කොයිතරම් බිල්ලන් මේ රටේ සැරිසැරුවද? මේක  එහෙම රටක්. නිසි කළමනාකරණයකින් යුක්තව මේ ව්‍යුහය සකස් කිරීමට තමයි දින කිහිපයක් බැංකු වසා තබන්නේ. ගිණුම් හිමියන්ට, බැංකුවල ස්ථායීතාවට, විශ්‍රාමික අරමුදල්වලට කිසිදු ආකාරයක බලපෑමක් සිදු වෙන්නේ නැහැ. දැන් ඇතැම් පිරිස් අස්වැසුම හරහා රට අස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. අපට සිදුව තිබෙන්නේ සාම්ප්‍රදායික විපක්ෂයක් සමඟ කටයුතු කිරීමටයි. ශ්‍රී ලංකාව සාමාන්‍ය රටක්. යළිත් කවුරුන් හෝ කුමන්ත්‍රණ කරනවා නම් අලුත් විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. ඒයින් වෙන්නේ රට තව තවත් ආපස්සට යෑමයි. දූර්දර්ශී නිසි වැඩපිළිවෙළක් අනුව තමයි රජය වැඩකටයුතු කරන්නේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved