Connect with us

පුවත්

බදු මාරුවෙන් සීනි, පිටි සමාගම් බිලියන ගණනින් අයුතු ලාභයක් උපයලා!

Published

on

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබද අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පෙරේදා (15) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමුවූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙම රැස්වීමට කැදවා තිබිණි.

2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන වි‍ශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බිලියන 16කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බවත් ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බවත් ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කොට දේශිය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

තිරිඟු පිටි සමාගම් 2ක් බිලියන ගණන් අයුතු ලාභ උපයලා

එසේම මෙරටට තිරිගු ආනයනය කොට පිටි සකස්කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිගු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා පිටි නිෂ්පාදනය කළ ප්‍රධාන සමාගම් දෙකක් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව මාස කිහිපයකින් තිරිගු පිටි සදහා රු.16ක බද්දක් පැනවීමත් එමගින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරටට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බවත් ඒ මහතා පැවසීය.

තවද පසුගිය නොවැම්බර් 1 දින සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝබර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500ක් පමණ ආනයනය කොට ඇති බවත් ඉන් පසු සීනි බදු රු.50 දක්වා වැඩි වීම සිදු වී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් මාස‍යකදී සීනි ගෙන්වා ඇත්තේ ටොන් 2000ක ප්‍රමාණයක් වුවද බදු වැඩි කිරීමට ආසන්න කාලයේදී මෙසේ අසාමාන්‍ය ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ බදු වැඩි වන බවට තොරතුරු ආනයනකරුන්ට ලැබීම නිසා බවට සාධාරණ සැකයක් මතු වන බවත් මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබා ගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අය කර ගන්නා ලෙස නිර්දේශ කළේය.

පසුගිය කාරක සභා රැස්වීම්වලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර එහිදී කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ කාරක සභාව විසින් පෙර ලබා දී තිබූ නිර්දේශ අතරින් නිර්දේශ 12ට ආදායම් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ප්‍රතිචාර ලබාදී නොමැති බවයි. රාජ්‍ය අදායමට මෙන්ම ජනතාවට වගකියන ප්‍රධානතම ආයතනයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව සුවිසල් වගකීමක් පවතින බැවින් පවතින දුර්වලතා කඩිනමින් සකසා නිවැරදි මාවතට යොමු වීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා තවමත් ස්ථිර ප්‍රධානියෙක්/කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් කොට නොමැති වීම පිළිබදවද අවධානය යොමු විය.

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් භාවිතයට ගන්නා RAMIS පරිගණක පද්ධතියට බදු ගෙවන්නන් විසින් ස්වයං තක්සේරු ක්‍රමය (Self-Assessment) යටතේ සිදු කරන බදු වාර්තා ජූනි 1වැනි දිනට පෙර සමාලෝචනය කිරීම සම්බන්ධ නිර්දේශය පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ ඔස්සේ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන තක්සේරු කරන ක්‍රියාවලියේ 2018-19 කාල සීමාවට අදාළ කොටස නිම කොට ඇති අතර, 2019-20 කාල සීමාව යාවත්කාලීන කිරීමේ කටයුත්ත දැන් සිදු කරගෙන යන බව දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කළේය.

රු.ට්‍රිලියනයක බදු ගෙවීම පැහැර හැරලා!
මෙහිදී කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ, නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රු.ට්‍රිලියනයක් පමණ වන බවත්, ඉන් දැනට එකතු කර ගත හැකි තත්ත්වයේ ඇති බදු  ප්‍රමාණය රු.බිලියන 175 ක් පමණ වන අතර, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව හිර වී ඇති බැවින් මෙය විසඳා ගැනීම සඳහා ඉක්මන් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙම බදු තක්සේරු සහ අභියාචනා ක්‍රියාවලිය වේගවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

RAMIS පද්ධතිය නඩත්තු කටයුතු සදහා දෙපාර්තමේන්තුවේම පරිගණක තාක්ෂණික ශිල්පීන්ගේ සහය ලබා ගැනීම, SVAT බදු ගැටලුව, ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.

පුවත්

ඉන්දු – ලංකා ආරක්ෂක ප්‍රධානීන් හමුවේ (ඡායා)

Published

on

By

දිවයිනේ නිල සංචාරයකට සහභාගීව සිටින ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දුත පිරිස අද (ජුනි 05) දින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. 

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මැතිතුමා ද මෙම සාකච්ඡා වලට සහභාගී විය.

දෙරට අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය, හමුදා පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම, ආරක්‍ෂක ධාරිතාවයන් ඉහළ නැංවීම, හදිසි තත්ත්වයන්හිදී ආපදා කළමනාකරණ සදහා සහය වීම  සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු විය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමග පැවති හමුව අතරතුරදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කල අතර, විශේෂයෙන් අසීරු අවස්ථාවන්හි දී ඉන්දියාව විසින් අප වෙත ලබා දුන් සහයෝගයන් වෙනුවෙන් ඉන්දීය ජනතාවට සහ රජයට සිය කෘතඥතාව පළ කළේය.

ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවේදී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තුතිය පුද කරන බව ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා (විශ්‍රාමික) ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් අදහස් දැක්වූ ඉන්දීය නිලධාරීන්, ඉන්දු – ශ්‍රී ලංකා සමීප මෙන්ම මිත්‍රශීලී සම්බන්ධතාවය වෙනුවෙන් තම රට කැපවී ක්‍රියා කරන බව නැවත අවධාරණය කළ අතර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා දායක වෙමින්, මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව තහවුරු කිරීමට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කලහ.

දැනට ක්‍රියාත්මක රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමටත්, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ හමුදාමය ධාරිතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට කැපවී ක්‍රියා කරන බවට ද, දෙපාර්ශ්වයම මෙහිදී එකඟ විය.

(defence.lk)

Continue Reading

පුවත්

කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරන්න සූදානමක්!

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය.
වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය.  

වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපි 6 ක් යොමු කළ ද අවම වශයෙන් ලිපි ලැබුණ බවට හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ථයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත්කිරීමට අමාත්‍යවරයා පසුගියදා ගත් තීරණය අගය කරන බවත් වරාය සහ නාවික කටයුතු පිළිබඳව හසල දැනුමත් තිබූ වරාය අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉවත්වීම පිළිබඳව ද අමාත්‍යවරයා අවදානය යොමුකළ යුතු බවත් ඒ මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතිය වරායේ එකම වෘත්තීය සමිතිය නොවන්නේ යැයි වරාය අමාත්‍ය බිමල් රත්නායක මහතා මතකයේ තබාගත යුතු බව කී සුමනරත්න මහතා ඩොලර් බිලියනයක් වැයකර ඉදිකළ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන්නේ යැයි පාලකයන්ට මතක් කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනය කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය මෙම මස 30 වැනිදා වන විට විවෘත කළ හැකි යැයි ජනාධිපති අනුර කුමාර මහතා රවටා ඇති බවත් එම පර්යන්ථය තවත් වසර එකහමාරකින්වත් විවෘත කළ නොහැකි බවත් ශ්‍යාමාල් සුමනරත්න මහතා කීය.

වරාය සේවකයන් දිවිහිමියෙන් රැකගත් නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් නියමිත පරිදි ක්‍රියාත්මක කළේ නම් ලබන සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී සුමනරත්න මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පත්කළ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි.

විජිත හේරත් මහතා වරාය ඇමතිවරයා ලෙස පත්කළ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පරිපාලනය නිලධාරීන් මාරු කිරීම සහ ටෙන්ඩර් අවලංගු කිරීම ආදි පර්යන්තයේ ඉදිකිරීම් අඩපණ කිරීමට කළ කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්ථය කටයුතු ආරම්භ කිරීමට තවත් වසර කීපයක් ගතවනු ඇති බවත් එසේ වුවහොත් නැව් සමාගම් කොළඹ වරාය අතහැර දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.

නැගෙනහිර බහලුම් පර්යන්ථයේ බහලුම් ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යෙන් තිබිය යුතු උපකරණ වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ මිලදීගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව අවලංගු කළ ද මේ දක්වා එම ටෙන්ඩරය කැඳවීමට හෝ කටයුතු කර නොමැති බව කී සුමනරත්න මහතා එම උපකරණය හිටිහැටිය ඇනවුම්කළ නොහැකි එකක් වීම නිසා එය ලබාගැනීමට අවම වශයෙන් දින 200 ක් ගතවනු ඇති බවත්ය.

නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය, ප්‍රවාහන උපාංග, පුහුණු සේවකයන් බඳවා ගැනීම ඇතුළු බොහෝ දේ ඉටුකර නොමැති අතර කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනස් කළේ යැයි කියන එම පර්යන්ථයේ මාර්ගයේ කටයුතු වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුවක නිර්දේශයක් මත මේ වන විට නැවතී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව රජය බලයට ගෙන ඒමට ආණ්ඩුවට සහය දැක්වූ වෘත්තීය සමිතිය වරාය සේවකයන්ට බලාපොරොත්තු රැසක් දුන්න ද එම එකම පොරොන්දුවක් හෝ ඉටුකිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බවත් වරාය අධිකාරියේ පරිපාලනයට එරෙහිව හඩනඟන වෘත්තිය සමිති නායකයන් විවිධ ක්‍රමවලින් මර්ධනය කිරීමට සූදානම් වුවද ඒවා සාර්ථක නොවන බවත් ඒ මහතා කීය.

ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංකා, නිදහස් සේවක සංගමයේ සභාපති ඉන්දික සමරවික්‍රම සහ එක්සත් සේවක සංගමයේ සභාපති ඩික්සන් ගෝමස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

කඩවත-මිරීගම අධිවේගයේ වැඩ අගෝස්තුවේ සිට

Published

on

By

දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇකැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පව සා සිටියේ මේ වන විටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවයි. 

මේ අතර, චීන හෝ දේශීය කොන්ත්‍රාත්කරුවෙක් විසින් නුදුරු අනාගතයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved