පුවත්

බන්ධනාගාරයේ සිටින හේමන්තට කර්තෘ සංසදයෙන් සම්මානයක් !

Published

on

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම වාර්තාකරණයට හිමි මහාචාර්ය කායිලාසපති කුසලතා සම්මානය මෙවර හිමිවූයේ  ‘අරුණ’ පුවත්පතේ හිටපු දැනට කුරුවිට බන්ධනාගාරයේ සිටින හේමන්ත ලියනපතිරණ මාධ්‍යවේදියාටය.

කෙසේවුවද, ඔහුගේ සම්මානය එම උත්සවයට සහභාගිවූ කිසිදු අයකු විසින් ලබාගෙන නැතැයි ද වාර්තා වේ.

පසුගියදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබේ.

එම වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඩුබායි හී සිටින මන්නා රමේෂ් නමැති අපරාධකරු බවත් ඔහුට රහසිගත තොරතුරු සපයා ඇත්තේ අදාළ මාධ්‍යවේදීයා බවත් පොලිසිය කියා සිටි.

කෙසෙවෙතත් මීගොඩ ප්‍රදේශයේ දී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂණ වලදී  මන්නා රමේෂ්ට දුරකතන ඇමතුම් 18ක් ලබා ගෙන ඇති බවත්, ඔහුගේ බැංකු ගිණුමට මන්නා රමේෂ් අවස්ථා කිහිපයකදී මුදල් බැර කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

කෙසේවුවද, හේමන්ත ලියනපතිරණ මහතා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ හිරු CI හි මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටියේය.

මෙකි සම්මාන උළෙල දී දිනාගත් අනෙකුත් සම්මාන සහ සහතිකපත්‍ මෙසේය.

වසරේ හොදම ලේඛක ලෙස කුසලතා සඳහා වු සම්මානය සිළුමිණ පුවත්පතහී වජිර ලියනගේ මහතාට හිමිවිය.‍

වසරේ විශිෂ්ටතම උණුසුම් පුවත වාර්තාකරුට හිමි සම්මානය තාරක වික්‍රමසේකර මහතා දිනාගත් අතර වසරේ විශිෂ්ටතම ක්‍රීඩා ජන­මා­ධ්‍ය­වේ­දියාට හිමි සම්මානය ෆවුස් මොහොමඩ් මහතා‍ට හිමිවිය.

වසරේ විශිෂ්ටතම පරි­සර වාර්තා­කරු හා  සමාජ ගැටලු වාර්තා­ක­ර­ණයට හිමි සම්මාන සුභාෂිණී ජයරත්න හා ටානියා මෝසස් යන මහත්මින් දිනාගෙන ඇත.

එලෙස වසරේ විශිෂ්ටතා සම්මාන 04ක් සහ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට සිළුමිණ පුවත්පත් මාධ්‍යවේදීන්ට හැකිවිය.

Thamilan (දමිළ මාධ්‍ය)පුවත්පතේ ඒහාම්බරම් රවිවර්මන් මහතා හට වසරේ විශිෂ්ටතම විශේෂාංග රචකයා හිමි උපාලි විජේවර්ධන අනුස්මරණ කුසලතා සම්මානය හිමිවිය.

හොඳම විශේෂාංග ලේඛකයාට හිමි සම්මානය 06 වෙනි වතාවටත් දිවයින මාධ්‍යවේදී තරංග රත්නවීර මහතා දිනාගැනීමට සමත්ව ඇත.

වසරේ විශිෂ්ටතම ඡායාරූප මාධ්‍යවේදියා ලෙස සතිඅග අරුණ පුවත්පතේ එස්. අබේසිරිවර්ධන මහතා සම්මානය හිමි කරගත් අතර ඉංග්‍රීසි මාධ්‍ය යටතේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය The Sunday Morning පුවත්පතේ රංජික පෙරේරා මහතා හිමිකර ගත්තේය.

ඉංග්‍රීසි මාධ්‍ය යටතේ සෞඛ්‍ය සහ වෛද්‍ය පුවත් වාර්තාකරණයේ වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියා ලෙස සම්මානය දිනා ගැනීමට The Morning පුවත්පතේ කේ. ඒ. සුමුදු චාමර මහතා සමත් විය.

මෙවර සම්මාන උලෙළ සඳහා පුවත්පත් ආයතන 7කින් අයඳුම්පත් 354ක් පමණ යොමු කර තිබු අතර මාධ්‍ය ත්‍රිත්වයෙහි විශිෂ්ටතම ජනමාධ්‍යවේදීන් 36කට පෑන සහිත ජය සංකේත මෙහිදී පිරිනමනු ලැබීය.

Trending

Exit mobile version