Connect with us

පුවත්

බලපිටියේ බොබ්මාලි කොටු කළ හැටි

Published

on

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ  කළුදුර චමින්ද තාබ්‍රේවච්‌ නොහොත්‌ බලපිටියේ බොබ්මාලි නැමති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරු ඔහුගේ බිරිය  සහ චීවරධාරියකු  ඇතුළු සිව් දෙනෙක් ඊයේ (01) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව ඕපාත පොලිසිය පවසයි .

මොවුන් විදේශගතවීමේ  අරමුණින් ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඕපාත පොලිසියේ නිලධාරීන් විසින් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් පසු   අත්අඩංගුවට ගෙන ඇත.

කවුද මේ බොබ්මාලි –

බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති පරිදි   ඩුබායි රැඳි සිටින පාතාල අපරාධකරුවෙක් වූ කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානම අපරාධකරු මේ තැනැත්තාය.

රාජ්‍ය බුද්ධි අංශය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශය විසින්‌   2021 වසරේ  අගෝස්තු මාසයේ  සිදුකළ වැටලීමක දී  බේරුවල මුහුදු තීරයේ ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන්‌ 05 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් කිලෝ 288 ක හෙරොයින්‌ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීම මෙහෙයවු ප්‍රධාන සැකකරු වූයේ මොහුය.

කළුදුර චමින්ද තාබ්‍රේවච්‌ නොහොත්‌ බොබ්‌ මාලි නමැති ඔහු අංක 128/09, නිසංසලා මාවන, තලාහේන, මාලඹේ සහ අංක 522/1/2, සල්මල්‌ මාවත, උඩුමුල්ල, බත්තරමුල්ල යන ලිපිනවල පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රැකියාව ලෙස බහුදින ධීවර යාත්‍රා නියමුවෙක් ලෙස කටයුතු කළේය.

අතට අසු වී අතහැරිය හැටි සහ යළි අත් අඩංගුවට පත් වූ හැටි

පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 09 දා මෙම පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඇල්පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී  ඔහු සිය කොණ්ඩය සහ රැවුල කපා හඳුනා ගැනීමට අසීරු වන ආකාරයට සිය බාහිර පෙනුම වෙනස් කරගෙන සිට ඇත.

පොලිසිය විසින් ඡායාරූප සමඟ ප්‍රසිද්ධ කොට අල්ලා ගැනීම සඳහා මහජන සහය පැතූ පසුගිය 2021 අගොස්තු මාසයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ගාල්ල පොලිසියකින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ චන්ද්‍රිකා (සැටලයිට්) දුරකථනයක්ද ඔහු සතුව තිබී ඇති බව පැවසේ.

දූෂිත පොලිස් නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බොබ් මාලේ නැමැත්තා මුදා හැර ඇත්තේ අත යට සිදුවූ ගනුදෙනුවකින් පසුව බවට බුද්ධි අංශ සැක පහළ කර තිබිණි.

ඕපාත දී අත් අඩංගුවට ගැනීම

නො. 45/10, සුභද්‍රාරාම පාර, බළපිටිය ලිපිනයේ පදිංචි කළුදුර චමින්ද තාබ්‍රේව් (43) නොහොත් බළපිටියේ බොබ්මාලි ට අමතරව ඊයේ (01) ‌‌ අත් අඩංගුවට ගෙන ඇත්තේ , නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන සිව් දෙනාය.

සැකකරුවන් වීරපානේ සීලසුමන හිමියන්ගේ ගිහිකල නිවසේ රැදී සිටියදී ලද තොරතුරක් මත ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දහවල් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පලාගොස් තිබේ. 

පසුව පොලීසිය විසින් ඔවුන් ලුහුබැද ගොස් වීරපාන, ඕපාත කදු සහිත කැලෑබද ප්‍රදේශයකදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහි පළමු සැකකරු 2021 අගෝස්තු 31 දින පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි. 

ඒ සම්බන්ධයෙන් වූ නඩුව කොළඔ, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බී – 55635/1 යටතේ විභාග වෙමින් තිබෙන බවද ඕපාත පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කෙසේවුවද, බොබ්මාලි අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද ඔහු ළඟ තිබී පොලිසිය සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් මෑතකදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද මහා පරිමාන හෙරෙයින් ජාවාරමට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading

තවත් බොහෝ දේ

ජගත් පරිසර දිනය අද යි

Published

on

By

ලෝක පරිසර දිනය (World Environment Day)  අදට (ජූනි 05) යෙදි තිබේ.

1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි.

මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති.

2025 වසරේදී “Ending plastic pollution ” ප්ලාස්ටික් මඟින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය සැමරිම සිදුවේ.

මෙම ගෝලීය තේමාව යටතේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණයට අවසන් විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට අපේක්ෂිතය.

සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසාර සංවර්ධනයේ පාරිසරික, සමාජීය, ආර්ථික සහ සෞඛ්‍ය මානයන් කෙරෙහි අහිත කර ලෙස බලපාන බරපතල ගෝලීය පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් දැනට එය වසරකට ටොන් මිලියන 430 ක් පමණ වේ. වසර 2040 වන විට මෙම අගය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමීව ” ජාතික පරිසර සතියක් ” ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව මැයි මස 30 දින  සිට ජූනි 05 දින දක්වා සතිය ” ජාතික පරිසර සතිය ”  ක්‍රියාත්මක විය.

මැයි 30 ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි 31 වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි 01 පරිසර පවිත්‍රතාවය පිළිබද දැනුවත් කිරීමේ දිනය, ජුනි 02 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජුනි 03 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 04 වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙස ක්‍රියාත්මක වූ මෙම පරිසර සතිය තුල අද දිනය (ජුනි 05 )
රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම  වෙනුවෙන් වෙන්කර තිබේ.

මෙම පරිසර සතිය තුල දී පරිසරය සංරක්ෂණය සහ පාරිසරික සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීම සිදු වූ අතර මෙරටට පමණක් ආවේණික මත්ස්‍යෙයකු වන “බන්දුල පෙතියා” සංරක්ෂණය සඳහා එම මත්ස්‍යයන් ජීවත්වන ගලපිටමඩ ප්‍රදේශය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව රක්ෂිත වනාන්තර 5ක් නම් කර ගැසට් කිරීම ඇතුළු පරිසර හිතකාමී සැලසුම් ගණනාවක් ඒ අතර විය.

අද දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර  දින ජාතික සැමරුම ජනාධිපති  අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ

Published

on

By

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවර යාත්‍රාවක් වැටලීමට ගිය නාවික හමුදා යාත්‍රාවකට තවත් යාත්‍රා කිහිපයකින් පැමිණි කිසියම් සංවිධානාත්මක පිරිසක් පහරදීමට තැත්කිරීමේදී සිදුවූ ගිනිඅවි ක්‍රියාත්මක වීමකින් කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයෙකු තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ධීවරයා සහ පහරකෑමට ලක්වූ නාවික හමුදාවේ දෙදෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භකර ඇතැයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් හා යාත්‍රා වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මෙරට ජල තීරය ආවරණය වන පරිදි නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

පසුගිය දා (03) රාත්‍රී 7ත් – 7.30ත් අතර කාලයේ නාවික හමුදා යාත්‍රාවක් ත්‍රිකුණාමලය, කුච්චවේලි මුහුදු තීරයේ එවැනිම විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ, පොඩුකට්ටුව – බෝඩර් පොයින්ට් නමින් හඳුන්වන දිවයිනට ආසන්න දේශීය ජල තීරයේය.

එම අවස්ථාවේ ඩිංගි බෝට්ටුවක සිටි ධීවරයින් 5 දෙනෙක් එහි නීතිවිරෝධී ලෙස ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රාව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ගොඩබිම දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, එම අවස්ථාවේ සංවිධානාත්මක පිරිස් රැගත් යාත්‍රා කිහිපයක් නාවික හමුදා යාත්‍රාව හඹාවිත් ගැටීමට සලස්වා අත්අඩංගුවටගත් ධීවරයින් පිරිස මුදාගෙන පලායාමට තැත්කළ නාවික හමුදාව පැවසීය.

එහිදී නාවික යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයින් ඔවුන්ට දැනුම්දී ඇත්තේ රාජකාරියට බාධා නොකොට සිය කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසය.

එහෙත්, පැමිණි සංවිධානාත්මක පිරිස තවදුරටත් කළහකාරී ලෙස හැසිරී යාත්‍රාව පැහැරගැනීමට උත්සාහකර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

තවදුරටත් නියෝග නොතැකූ සංවිධානාත්මක පිරිස නාවික හමුදා පුද්ගලයින්ට පහරදී පොරබැදීමක් ද සිදුකර ඇති නාවික හමුදාව සඳහන් කළේය.

එහිදී සංවිධානාත්මක පිරිසේ අයෙක්, නාවිකයෙකුගේ රාජකාරී ගිනිඅවිය උදුරාගැනීමට යාමේදී එය ක්‍රියාත්මකවී ඇති අතර ඉන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

සිද්ධියෙන් පසු සංවිධානාත්මක පිරිස පලාගොස් ඇති අතර නාවික පිරිස සිය භාරයට ගත් සැකකාර ධීවරයන් සමඟ ගොඩබිමට පැමිණ තිබුණි.

තුවාල ලැබූ 24 හැවිරිදි ධීවරයා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු ඇතුළු ධීවරයින් 5 දෙනා කුච්චවේලි – ජාවානගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, යාත්‍රාව තුළ සිදුවූ පහරදීමේදී තුවාල ලැබූ නාවික පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

කෙසේවෙතත්, මෙහිදී සිදුව ඇති වෙඩිවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ කුච්චවේලි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් ද පැවැත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව මූලික පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පුළුල් හා විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් මේ වසරේ මේ දක්වා ධීවර යාත්‍රා 117ක් සහ පුද්ගලයින් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.

පසුගිය 03 වැනිදා  රාත්‍රීයේ පමණක් සිදුකළ එවැනි මෙහෙයුම්වලින් නීතිවිරෝධී යාත්‍රා 11ක් සමඟ පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවටගත් බව ද නාවික හමුදාව පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved