Connect with us

පුවත්

බස්නාහිර පළාත් සභා විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය COPA අවධානයට

Published

on

බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී 2020, 2021 සහ 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර කාරක සභාව ආරම්භ කරමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ බස්නාහිර පළාත් සභාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බවත් මේ නිසා කොටස් 3ක් වශයෙන් මෙම සාකච්ඡාව සිදු කරන බවත් ඉන් පළමු කොටස මෙදින පවත්වන බවත් ය.

මේ අනුව බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දුර්වල නියාමනය මත බස්නාහිර පළාත තුළ සමූපකාර සමිති විධිමත් භාවයකින් තොරව ණය නිකුත් කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී කමිටුව පෙන්වා
දුන්නේ මෙම කරුණ මත පදනම්වූ දැවැන්ත ඛේදවාචකයක් මේ වන විට ඇති වී තිබෙන බවයි. මේ නිසා වගකීමක් සහිතව බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවත් මේ වෙනුවෙන් පොදුවේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම වැදගත් වන බවත් කාරක සභාව විසින්
පෙන්වා දෙන ලදි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන), (ධාවන) හා (මූල්‍ය) ලෙස තනතුරු 3ක් ඇති කර ඉන් තනතුරු 2ක් දීර්ඝකාලයක සිට වැඩබැලීමේ පදනම යටතේ පත් කර දීමනා වශයෙන් රු. 338872 ක් ලබාදීම පිළිබඳව මෙහදී අවධානය යොමු විය. එසේම
මෙම තනතුරුවලට පත්වීම සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණය  විය.

මේ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් මෙම කාරක සභාවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරයාට නිර්දේශ කළේය.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග බලපත් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර විශේෂ අවසරපත්‍ර මගින් මගී ප්‍රවාහණය සඳහා බස් රථවලට ගමන්වාර ලබාදීම පිළිබඳ මෙහිදී කමිටුව විසින් නිලධාරීන්ගෙන් විමසන ලදි. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ ඇතැම් බස් රථ සඳහා වැඩි වාර ගණනක් ලබාදී ඇත්තේ අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා බවයි. ඊට හේතුව අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සඳහා සුඛෝපබෝගී බස් රථ යෙදවිය යුතු වුවත් එවැනි බස් රථ ඇත්තේ කිහිපයක් පමණක් බවත් ය. මේ නිසා එම බස් රථ වැඩි වාර සංඛ්‍යාවක් යෙදවීමට සිදු වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් මාර්ග සඳහා අත්‍යාවශ්‍ය වෙලාවන් සඳහා බස් රථ යොදා නැති බවයි. මේ නිසා පවතින බස් රථ විධිමත් ආකාරයෙන් යෙදවීමට වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට කාරක සභාවේ සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

තවද තාක්ෂණය යොදාගනිමින් බස් රථ ධාවනය විධිමත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ගරු ජයන්ත කැටගොඩ, ගරු සහන් ප්‍රදීප් විතාන, ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු වීරසුමන වීරසිංහළ ගරු මධුර විතානගේ සහ ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved