Connect with us

පුවත්

බාල එන්නත් සිද්ධියට කෙහෙළියට අධිචෝදනා ගොනු කරන්න යයි

Published

on

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්  මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සතියේදී අධිචෝදනා ගොනුකරන බව නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදකවන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද දැනුම් දුනි.

ඊට අමතරව ප්‍රශ්නගත මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ද විමර්ශනයක් සිදුකළ බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සතියේදී නඩු පැවරීමට තීරණය කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බවත් සඳහන් කළේය.

ඊට අමතරව මෙම පෙත්සමේ සඳහන් කර තිබෙන සෙසු ඖෂධ හා ආම්පන්න මිලදී ගැනීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසම විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

එම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ ලිපි ගොනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන විමර්ශන සිදුකිරීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(අද දෙරණ)

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved