Connect with us

පුවත්

බැඳුම්කර වංචා නඩුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට දුන් නියෝගය

Published

on

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අධිකරණය විසින් ඉදිරිපත් කරන ලෙස නියම කර තිබෙන ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියම කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කැඳවා තිබුණි.

එම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිට ඇත.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව අවසන් වශයෙන් කැඳවනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මස බව පෙන්වා දී තිබේ.

එදින මෙම සැකකරුවන්ගේ සමාගම් වලට අදාල ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළත් මේ දක්වා එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පැමිණිලිකරුවන්ට මෙම නඩුව පවත්වාගෙන යාමට උනන්දුවක් නැතිනම් මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විටත් සිය සේවාදායකයින්ට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවත් ඔහු පෙන්වා දී ඇත.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ද අධිකරණයට දැනුම් දුන්නේ අදාල වාර්තා ඉදිරිපත් කරන ලෙස පෙර අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ නඩු දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය බුද්ධි අංශයට නියම කළේය.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු නම් කර තිබේ.

පුවත්

යාපනය මහනගර සභාවේ බලය ITAK වෙත

Published

on

By

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය  පිහිටුවා ඇත.

ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් පැවසුවේ ITAK හි විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවය.

නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේදී ඇයට ඡන්ද 19 ක් ලැබී  ඇති අතර EPDPපක්ෂය, සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල සහාය හිමි විය.

කෙසේවෙතත් මෙහිදී  ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත.

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Published

on

By

මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නොසන්සුන් තත්ත්වයත් සමග ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙසය.

එමෙන්ම, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් දෙන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්‍ෂිත කුටි ආසන්නයේ රැඳීසිටින ලෙසය.

ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට ද ඊශ්‍රායලය උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි අහාර ළඟ තබා ගන්නා ලෙසටත් ලාංකිකයින්ට උපදෙස් දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සම්බන්ධවෙමින් නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවය.

ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හමුවෙ ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානී හුසේන් සලාමි ද මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “ඔපරේෂන් රයිසින් ලයන්” ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්, මිසයිල කම්හල් සහ හමුදා මූලස්ථාන ඉලක්ක වූ බවය.

මෙම දැවැන්ත ප්‍රහාරයට ඉරානය නිසැකවම ප්‍රතිචාර දක්වනු ඇති බැවින් සිය රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර සියලු පාසල් වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ මධ්‍යස්ථාන මෙන්ම හමුදා ඉලක්ක වෙතද එල්ලවූ මෙම ප්‍රහාර සිදුකර තිබුණේ ඊශ්‍රායලයට අයත් IAF ජෙට් යානා යොදගනිමිනි.

ඉරානයේ ප්‍රධානතම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානය ද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරි මියගොස් ඇතැයි ඉරානය මාධ්‍ය වාර්තා කළේය.

ඔහු සැලකෙන්නේ එරට උසස්ම හමුදා නිලධාරියා ද ලෙසය.

එමෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක් මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී තිබුණි.

කෙසේවෙතත් නට්සාන් න්‍යෂ්ටික වැඩබිම වෙත එල්ල වූ බවට තහවුරු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් එහි විකිරණ මට්ටම ඉහළ ගොස් නැතැයි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දැනටමත් ඉරානය ඊශ්‍රායලය වෙත ප්‍රහාරක යානා 200ක් පමණ යොමුකර ඇති බවය.

ප්‍රහාරය ඊශ්‍රායලයේ අධම ස්වභාවය පැහැදිලි කරන්නක් බවත්, මෙමගින් ඊශ්‍රායලය සිය රටට අමිහිරි ඉරණමක් සැලසුම් කරගත් බවත්, ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙයිනි ප්‍රකාශ කර ඇත.

මේ අතර ප්‍රහාරය සම්බන්ධව අදහස් පළකළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ මෙය ප්‍රහාරයේ ආරම්භය වන අතර අවශ්‍ය ඕනෑම කාලයක් දක්වා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සිය සැලසුම බවය.

ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීම වැළැක්වීම සහ එමගින් සිය ජනතාව ආරක්ෂා කරගැනීම මෙම ප්‍රහාරය සිදුකළ බව ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අමෙරිකාව පවසන්නේ තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.

කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ රැඳී සිටින අත්‍යාවශ්‍ය නොවන සියලු අමෙරිකානුවන්ට එම කලාපයෙන් ඉවතවන ලෙස අමෙරිකාව පසුගියදා නියෝග කළේය.

මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබේ.

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්

Published

on

By

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved