Connect with us

පුවත්

බැසිල් අධිකරණයට නොපැමිණි හේතුව හෙළිවෙයි

Published

on

අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (23) නියෝග කළේය.

ඒ නීති විරෝධී ලෙස ඉපැයූ රුපියල් ලක්ෂ 500ක් යොදවා මිලදී ගත් මාතර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළවය.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහාමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

එහිදී ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටියත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී සිටියේ නැත.

“ස්වාමිනි, මෙම නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් 18 විදේශ ගතවීමට අවසර ලබා දී ඇත්තේ අද  දක්වා පමණයි. එවැනි පසුබිමක ඔහු අද අධිකරණයේ පෙනී සිටින්නේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා . “

“ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට එන්න ගුවන් ටිකට් පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇඳ වැටිලා අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා.
 “

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ, එම වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බවයි.

“ස්වාමිනි, මේ X Ray වාර්තා බලපුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියලා වෛද්‍ය නිර්දේශයක් තිබුණානම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමිනි මෙම වෛද්‍ය වාර්තා  පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. “

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා යම් ආවේගකාරි ස්වරූපයකින් ඊට ප්‍රතිචාර දැක්වීය..

“ස්වාමිනි, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා. “

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“මේ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සලකා බැලෙන නඩුවක්. එකී කාලය පුරාවටම සැකකරු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. ඒ නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනීසිටින ලෙස සැකකාර බැසිල් රාජපක්ෂට නියෝග කරනවා “

මෙම නඩුව නොවැම්බර් 21 වනදා යළි කැඳවීමට නියමිතයි.

කැබිනට් තීරණ

දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 7,500ක දීමනාවක්

Published

on

By

දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ.

වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස මෙසේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම තීරණය 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මක වේ. 

දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

කැබිනට් තීරණ

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

Published

on

By

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.පේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මෙම මස 10 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

කැබිනට් තීරණ

සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුමැතිය

Published

on

By

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේ දී සහ ඒඩ්න් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් එම සාගර කලාපය අධි අවදානම් කලාපයක් ලෙස 2010 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කර ඇත.

එම තර්ජනයන්ට පිළියමක් ලෙස අධි අවදානම් කලාපයට ඇතුළුවන වෙළෙඳ නෞකා විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් මඟින් ගිනි අවි රැගත් සමුද්‍රීය ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනු ලබයි.

2023-01-01 වන දින සිට එම අධි අවදානම් කලාපය ඉවත් කර ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති නමුත්, වාණිජ නෞකා විසින් තවදුරටත් පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම්වල සේවය ලබා ගැනීමට කටයුතු කර තිබේ.

එම සාගර කලාපයට ඇතුළුවන නෞකා සඳහා ගිනිඅවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් නංවා ගැනීමත්, පිටවන නෞකාවන්හි ආරක්ෂාවට යොදවා සිටි ගිනිඅවි සහිත සමුද්‍රීය ආරක්ෂකයින් ගොඩ බැස්වීම සඳහාත් ප්‍රධාන වශයෙන් ගාල්ල සහ කොළඹ වරායන් යොදා ගන්නා අතර, ඇතැම් අවස්ථාවන්හි දී හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව ද එවැනි සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. 

එම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ දී ජාතික ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇත.

එබැවින්, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගෙන, සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ස්වාධීනව සිදු කිරීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද අනුමැතිය ලබා දීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved