පුවත්

බිත්තර කෝටි 23ක් රටින් ගෙන්නලා

Published

on

2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ මෙරටට බිත්තර මිලියන 233.68ක් (කෝටි 23.3ක්) ආනයනය කර ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. ඒ අනුව 2023 වසරේදී මිලියන 168.5ක් සහ 2024 වසරේ මැයි දක්වා මිලියන 65.18ක් වශයෙන් මෙලෙස මෙරටට බිත්තර ආනයනය කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

2023 වසරේදී බිත්තර මිලියන 2047ක් සහ 2024දී බිත්තර මිලියන1073ක් වශයෙන් බිත්තර මිලියන 3120ක් නිෂ්පාදනය කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙරට තුළ තිබූ බිත්තර ගොවිපොළ කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් හරි අඩකින් පමණ වැසී ගොස් බිත්තර නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවූ බව ද ඇමැතිවරයා කීය.

මේ වන විට මෙරට බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පැමිණ ඇතත් සංචාරක හෝටල්වලින් බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවත් මාළු සහ කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් බිත්තරවලට දැඩි ඉල්ලුමක් පවතින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

(දිනමිණ )

Trending

Exit mobile version