පුවත්

බියර් ලයිසන් රෙගුලාසි කැඩුවයි හරීන් උසාවි කැඳවයි

Published

on

සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (24) නියෝග කළේය.

සංචාරක කලාපවලට අමතරව පිටස්තර ප්‍රදේශවලට නිකුත් කර තිබෙන මෘදු මත්පැන් බලපත්‍ර (බියර් බලපත්‍ර) බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රට බීම හල් හිමිකරුවන්ගේ සංගමය හා රට බීම හල් හිමිකරුවන් දෙදෙනකු විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු එම නියෝගය කළහ.

බියර් හෝ වෙනත් මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කළ යුත්තේ පාසල් හා ආගමික ස්ථානවලට මීටර් 100 කට ඔබ්බෙන් වන රෙගුලාසිය අනුගමනය කරමින් බවත් සංචාරක ප්‍රවර්ධනය හෝ වෙනත් කුමන හේතුවක් හෝ පෙන්වා එම රෙගුලාසිය උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය. 

සියලු පාර්ශ්වල කරුණු දැක්වීම් සලකා බලා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෝසම් පත්‍රයක් සලකා බලා අධිකරණය ඉවත් කර ඇති බවත් නීතිපතිවරයාගේ එකී ක්‍රියා කලාපය දෝෂ සහගත බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

එම පෙත්සම් සම්බන්ධයෙන් විමසීම ලබන මස 13 වැනිදා සිදු කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

නීතිඥ අංජන රත්නසිරි, මනුජය ද සිල්වා, රුක්ෂාන් සේනාධීර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය නීතිපතිවරයා ඇතුළු වගඋත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

Trending

Exit mobile version