පුවත්

බිස්ක්‍රෝස් මෙටා බිහිරි සංගමේ කෝටියකට විදලා

Published

on

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනකුට අයත් රුපියල් ලක්ෂ 104 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යංශය අධිකරණය වෙත ඊයේ (29) දන්වා සිටියේය.

ශ්‍රවණාබාධිත සංගමයේ ලේකම් අනිල් ජයවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශනය කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනකු විසින් ලාභාංශ ලබාගැනීමේ අරමුණින් බිස්ක්‍රෝස් මෙටා නමැති පුද්ගලික ආයතනයක් වෙත රුපියල් එක්කෝටි හාරලක්ෂ තිස්දෙදහස් එකසිය පහළොවක (1,04,32,115) මුදලක් තැන්පත් කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එලෙස තැන්පත් කරන ලද මුදල් සහ ලාභාංශ නොදී එම පුද්ගලික ආයතනය විශ්වාසය කඩ කර ඇතැයි දන්වා සිටි පොලිසිය ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල මත විමර්ශන කටයුතු ආරම්භ කළ බව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ වංචා විමර්ශන කාර්යංශයට නියම කළේය.

Trending

Exit mobile version