පුවත්

බූස්සේ ඉන්න රැවුල් කුමාරට පාතාලෙන් මොබයිල් වැස්සක්

Published

on

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැවුල් කුමාර නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හට ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ පිරිස් විසින් මාස තුනක කාලයක් තුළ ජංගම දුරකතන 36 ක් ලබාදී තිබෙන බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇත.

රුපියල් ලක්ෂ හතළිහකට අධික වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 249 ක් සමගින් මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කරණවෑමියකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් ඔස්සේ කරන ලද විමර්ශනවලට අනුවය.

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරියකු හට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 29 වැනිදාය.

එම සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත් පහක් හා ගිණුම් පොත් තුනක්ද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එම ගිණුම්වල රුපියල් ලක්ෂ ගණනින් මුදල් සංසරණය වී තිබෙන බව අනාවරණය වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය රැවුල් කුමාරට අයත් වන අතර සැකකරුගේ හිතවතකු මෙන්ම රැවුල් කුමාරගේ ගෝලයකු මගින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට යවා තිබේ.

අදාළ පුද්ගලයා ජංගම දුරකතන ව්‍යාපාරයක් කරන බවත් සැකකරුගේ කීම මත ජංගම දුරකතන 36 ක් ගාල්ල, බූස්ස ආශ්‍රිත ප්‍රදේශවලට ගෙන ගොස් රැවුල් කුමාර විසින් පවසන පුද්ගලයකුට ලබාදී ඇති බවත් විමර්ශන මගින් හෙළිවී ඇත. එම දුරකතන රැගෙන ගිය සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුරකන බව පොලිසිය සඳහන් කරයි.

යවන ලද ජංගම දුරකතන 36 න් 16 ක් ස්මාර්ට් දුරකතන වන අතර චාජර්, සිම්පත්, ජංගම දුරකතන මතුපිට ආවරණ ඇතුළු උපාංග රැසක්ද යවා ඇත.

මෙම දුරකතන බන්ධනාගාරය තුළට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙන බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු සඳහන් කළේය. එම දුරකතනවල ඉමි අංක ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.

(අරුණ)

Trending

Exit mobile version