දේව බලයෙන් අනාවැකි කියන බව පවසන බෝන් අගේන් නිකායේ ප්‍රධානියා වන ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ සිම්බාබ් ජාතික දේවගැතිවරයකු වන ඌබර්ට් ඒන්ජල් මහා පරිමාණ රන් ජාවාරමකට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.
ඒ අල් ජසීරා ප්‍රවෘත්ති නාළිකාව සිදුකළ ගවේෂණයකදීය.
මෙම දේවගැතිවරයා සිම්බාබේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙසද කටයුතු කර ඇත.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට අයත් කටුනායක ‘මිරකල් ඩෝම්’ නම් ශාලාවේ පැවැති දේව මෙහෙයන් සඳහා සිම්බාබ්වේ දේවගැතිවරයා අවස්ථා කිහිපයකදී සහභාගි වී ඇත.
ඒ බව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේද දක්වා තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී සිම්බාබ්වේ දේවගැතිවරයා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂද හමුවී ඇත.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඌබර්ට් ඒන්ජල් රන් ජාවාරම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධිකරණය කිරීමට කටයුතු කර තිබේ.
ඌබර්ට් එය වැඩි වශයෙන් සිදුකර ඇත්තේ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මහන්ගග්වා 2001 වර්ෂයේදී ඔහු තානාපතිවරයකු සහ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස පත්කිරීමෙන් පසුවය.
44 හැවිරිදි වියේ පසුවන ඌබර්ට් ඒන්ජල් හට සිම්බාබ්වේද ඇතුළුව රටවල් 15ක ශාඛා ඇති Good News Church නම් සංවිධානයක් තිබේ.
මූලාශ්‍රය – අරුණ