Connect with us

පුවත්

මගුල්ගෙදර පරිප්පුව විසවෙලා තරුණියක් මරුට

Published

on

මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව 25 හැවිරිදි අවිවාහක තරුණියක් මියයාමේ පුවතක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ  මිය ගොස් ඇත්තේ මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ, බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නම් 25 හැවිරිදි අවිවාහක තරුණියකි.

“මගේ දුවට පරිප්පු, කඩල පරිප්පු වැනි ආහාර කන්න බෑ. ඒවා කාපු වෙලාවට දුවට ආසාත්මිකතා ඇති වෙනවා. ඒවා කෑවහම හුස්ම ගැනීමේ අපහසුතා එක්ක හතියත් එනවා. ඒ හින්දා දුව ඒ කෑම ගත්තේ නෑ.” යැයි මංජරීගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇයගේ මව වන කරුණාධිපති ගණිතයාලාගේ සීලවතී (49) මහත්මිය පැවැසුවාය.

මිය ගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට හොරණ, ගෝනපොළ උත්සව ශාලාවකට අනෙකුත් පිරිස සමඟ ගොස් ඇති අතර, එහිදී ඇය පිරිස සමඟ විනෝදවී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

මිය ගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදී එම ස්ථානයෙන් පිටවී ඇති අතර, ටික වේලාවකදී ඇයට අසනීපවී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත.

අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් ඇය හොරණ රෝහලට රැගෙන යෑමට උපදෙස්දී ඇති බවත්, එහිදී සිදු කළ පරීක්ෂාවේදී ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම්දී ඇති බවත් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණයවී ඇත.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ඇයගේ මරණය සිදුවී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් කෑමට ගත් ආහාර ශ්වාස නාලිකාවලට යෑම හුස්ම ගැනීමට අපහසුවීමෙන් බවට හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනට සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.

හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පණීත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ.

එහිදී සාක්ෂි දුන් මිය ගිය තරුණියගේ මව මෙසේ ද පවසා ඇත.

“මිය ගියේ මගේ ලොකු දුව. ඇය 1998.11.14 උපන්නේ. මගේ දුවට අවුරුදු 25යි. දුව දිනපතා රැකියාවට ගිහින් රාත්‍රී 7ට ළං වෙලා ගෙදර එනවා. මිය ගිය දුවට හතිය තිබුණා. ඇයට එය වරින් වර ඇති වෙනවා. ඒ වෙලාවට ඇය ඉන්හේලර් එකක් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගත්තේ නෑ. අවශ්‍ය විට ඉන්හේලර් පාවිච්චි කරනවා. දුවට පරිප්පු, කඩල පරිප්පු කන්න බෑ. ඒවා කාපු විට ආසාත්මිකතා ඇති වෙනවා. හතිය එනවා. ඒ අවස්ථාවල වෛද්‍යවරයාට පෙන්නලා බෙහෙත් ගන්නවා. වෙනත් ආහාර ගත් විට එසේ වෙනවාද කියලා මා මේ දක්වා දන්නේ නෑ. දුව ඉතා හොඳින් හිටියා. විවාහ මංගල උත්සවයට දුව පිටත් වුණේ උදේ 9ට විතර තනිවමයි. ගියාට පස්සේ මා ඇයට කතා කළේ නෑ. සවස 3.45 ට විතර දුවගේ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරියකු වන දිනිදු මහතා දුරකතන ඇමතුමක් දී මගේ පොඩි දුවට කියලා තිබුණා, ලොකු දුව මිය ගිය බව. මම රෝහලට ගිහින් දේහය හඳුනාගත්තා. මරණය ගැන මට සැකයක් නෑ.”

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

Published

on

By

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.

මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රජය 2025 අයවැය යටතේ රුපියල් බිලියන 15ක් වෙන් කර ඇත.

මෙම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට ළඟම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ජාතික හැඳුනුම්පත (NIC) සහ IRD විසින් නිකුත් කරන ලද TIN ඇතුළු අනෙකුත් අවශ්‍ය ලියකියවිලි සමඟ මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතුවක් විවෘත කරන ලෙසට රජය ආරාධනා කර සිටී.

Continue Reading

පුවත්

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

Published

on

By

මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දී වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේ ගතවූ කාලය තුළ දී මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

වාහන ආනයනය සඳහා මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 118ක් වියදම් වී ඇති අතර ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 312ක් වාහන ආනයනය සඳහා වියදම් වී ඇති බව සඳහන්ය.

මේ වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් වන අතර එය අප්‍රේල් මාසයේ පැවති මට්ටමට බොහෝ දුරට සමාන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර අප්‍රේල් මාසයේ උත්සව සමයේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්ව තිබේ.

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මඟින් පිළිඹිබු වන පරිදි ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මැයි මාසය තුළ දී විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Continue Reading

පුවත්

බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

Published

on

By

බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළදීම අනිවාර්ය වේ.

පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා විය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම ද අද (01) සිය යළි ආරම්භ කෙරෙන බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවක දී හඳුනාගෙන ඇත්තේ රථවාහන 8,788ක් ධාවනයට නුසුදුසු බවය.

මෙම තත්ත්වය මෙන්ම රථවාහන වල අමතර කොටස් සවිකිරීම ද අනතුරුවලට ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබේ.

විවිධ අවස්ථාවලදී චක්‍රලේඛ මගින් ලබාදී ඇති අවසර මත බස් සහ ත්‍රි රෝද රථවල අමතර අලංකරණ කොටස් සවි කළද ඒවා සිදුකළ යුතු වන්නේ නිර්ණායක වලට යටත්වය.

අද  (01) සිට යළි ක්‍රියාත්මක කෙරෙන මෙම අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණය සමග එකඟ වන බව බස් සහ ත්‍රි රෝද රථ සංගම් පවසයි..

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved