රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලදැයි චෝදනා යටතේ මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත ඊයේ (27) දන්වා සිටියේය.
ඉකුත් 2012 සහ 2015 අතර කාලය තුළ දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දෙමින් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කරන ලද රුපියල් කෝටි ගණනක මුදලක් අවභාවිත කිරීම යටතේ මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් නීතිපතිවරයා දුන් උපදෙස් පරිදි අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත එලෙස දන්වා සිටියේය.
මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින මග නැගුම හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අබේසිංහ අධිකාරී සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය එලෙස දන්වා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචිනි උමයංගනී කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව නඩුව වසර 09 ක් තිස්සේ එනම් 2016 වසරේ විමර්ශන කරන නඩුවක් බව පෙන්වා දුන්නාය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා තම සේවාදායකයා සහාය ලබා දෙන හෙයින්, ඔහු ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි විමර්ශන තවදුරටත් කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.
එම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා ලබන මස 03 වන දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.
මූලාශ්‍රය – අරුණ