පුවත්

මදුරු කොයිවලට ගේ කුරුල්ලෝ වඳ වෙලා

Published

on

පසුගිය දශක හතරක් පුරාවට කරන ලද නිරීක්ෂණවලදී ගේ කුරුල්ලා මෙරට දිස්ත්‍රික්ක 18 කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියයි. 

ලෝක චටක දිනය (ගේ කුරුල්ලා සැමරීමේ දිනය) නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ පැවැති වැඩසටහනකදී මෙම තොරතුරු හෙළිදරව් කෙරිණ. 

මෙම වැඩසටහන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා සංගමය විසින් සංවිධානය කර තිබුණි.

ලෝක ගේ කුරුළු දිනය ලෙස සෑම වසරකම මාර්තු මස 20 වැනිදා නම් කර තිබේ.

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස නම් කිරීම සඳහා ඉකුත් 2007 වසරේදී පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව වර්තමානයේදී ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස සැලකෙන බවත්ය.

ගේ කුරුල්ලාගේ වඳ වීයාම ආරම්භ වූයේ මැලේරියා මර්දනය සඳහා මැලතියොන් නමැති රසායනික ද්‍රව්‍ය ඉසීමේ කටයුතු ආරම්භ වීමත් සමග බවත්, 1990 දශකයේදී විශාල ලෙස මදුරු දඟර භාවිතය ඉහළ යාමත් සමග ගේ කුරුල්ලා ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වලින් වඳ වී ගිය බවත්, මෙම මදුරු දඟරවල තිබෙන රසායනික පක්ෂීන්ගේ බිත්තර නිපදවීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ බව ද ඔහු කීවේය.

මේ වනවිට ගේ කුරුල්ලා ඉතා දුලභ තත්ත්වයට පත්ව සිටින පක්ෂියකු බවද ඔහු පැවසීය.

ගේ කුරුල්ලාගේ වඳ වී යාම මුලින්ම ලංකාවෙන් වාර්තා වූ පසුව ඉන්දියාවෙන් ද එලෙස වඳවී යාම සිදු වූ බව ද ඔහු කීවේය‍.

මෙහිදී ගේ කුරුල්ලන් සම්බන්ධව අධ්‍යයනයක් කරන ලද ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකා නිසලි දයානන්ද කියා සිටියේ අලුතින් ඉදිකරන ලද ගොඩනැගිලිවල ගේ කුරුල්ලන්ට ජීවත්වීමට සුදුසු පරිසර තත්ත්වයක් නොමැතිවීම ද ගේ කුරුලු ගහණය අඩුවීමට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවය.

රසායනික පොහොර, පළිබෝධ නාශක ආදියද ගේ කුරුල්ලන් වඳවී යාමට බලපා ඇතැයිද ඇය පැවසුවාය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version