Connect with us

පුවත්

මධුර හා සනත්ලාගේ කුණු කේස් ආණ්ඩුකාරවරු ගෙදර යවයි?

Published

on

මේවන විට බස්නාහිර පළාත හා වයඹ පළාත තුළ අකුරට නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු වන හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල්  වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ඉවත් කිරීමට දැඩි උත්සාහවයක සිටින බව වාර්තා වේ.

මේ පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ද දැඩි දෝෂා රෝපනයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.

මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීහු එහිදී චෝදනා කර ඇති බව පැවසේ.

කෙසේවුද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ අදාල ආණ්ඩුකාරවරුන් විසින් මන්ත්‍රීවරුන් රැගෙන එන නීතිවිරෝධී ගොඩනැගිලි අනුමත කිරීම්, ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඇතුළු දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් තදින් ක්‍රියා කිරීම මෙසේ චෝදනා එල්ලවීමට හේතුව බවයි.

අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන තදින්ම කරුණු දක්වා ඇත්තේ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම ගිය මන්ත්‍රීවරුන්  හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකු වන මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ ඇතුළු පිරිස බවයි.

ආණ්ඩුකාරවරුන් සම්බන්ධව ඇති විවේචන සභාවට ගෙන ඒමේ මූලිකයා බවට පත්ව ඇත්තේ මධුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බව පැවසේ.

“මේ බස්නාහිර ආණ්ඩුකාරවරයා පළාතේ දේශපාලනඥයන් කාටවත් ඇහුම්කන් දෙන්නේ නෑ. කොටිකාවත්ත, කෝට්ටේ වගේ ප්‍රාදේශීය සභා, නගර සභාවල කොමසාරිස්වරුන් මාරු කරලා. දැන් කතරගම ප්‍රාදේශීය ලේකම් මෙතනට ගෙනත් දාලා තියෙනවා. ඒ මහත්මයා හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් එතුමා දන්නේ නෑ මේ වැඩේ කරන්න. අපි මේක වෙනස් කරන්න කියලා කිව්වා. ඒත් ඔහු සූදානම් නෑ කිසිසේත්ම ඒක වෙනස් කරන්න. දැන් අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මෙහෙම අයත් එක්ක කොහොමද දේශපාලනය කරන්නේ.”

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද කල් බලා ආණ්ඩුකාර හබයට පැටලෙමින් මෙසේ පවසා ඇත.

“බස්නාහිර විතරක් නෙවෙයි, වයඹ ආණ්ඩුකාරවරයත් මේ වගේ. මහජන නියෝජිතයන් කියන කිසිදේකට සවන්දීමක් නෑ. ජනාධිපතිතුමා සහභාගි වෙන එක්තරා රාජ්‍ය උත්සවයකටත්, රාජ්‍ය නිලධාරින්ට සහභාගි වෙන්න එපා කියලා වෙනත් කෙනෙක් හරහා ලියුම් ගැස්සුවා. වයඹ ආණ්ඩුකාරවරයා ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ, පළාතේ මන්ත්‍රීවරු ගණන් ගන්නෙත් නෑ. දවසක් ආශු මාරසිංහ ජනාධිපති උපදේශකතුමා ජනාධිපති කාර්යාලය හරහා ආණ්ඩුකාරවරයාට උපදෙසක් ලබා දෙනකොට, එයාට කියපු දේ මං එතන අහගෙන හිටියා. ආශු මාරසිංහ මහත්තයාටත් එයා කිව්වේ, ඔය උපදෙස් මට වැඩක් නෑ වගේ කතාවක්. බොරු නම් අහන්න.”

මෙසේ ආණ්ඩුකාරවරුන්ට චෝදාන එල්ලකළ මන්ත්‍රීවරුන් බහුතරයටම විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ රාජ්‍ය අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් බව පැවසේ.

කෙසේවුවද, මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා ජනතාව අතර ඉතාම ජනප්‍රියත්වයට හා ජනාදරයට ලක්ව සිටින බවද වාර්තා වේ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved