Connect with us

පුවත්

මන්ත්‍රීවරුන්ට හිමි වෙන දීමනා මොනවද?

Published

on

මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බවත් වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට රුපියක්  54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කලේය.

මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක්ද සියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වේ.

එමෙන්ම, දුර ප්‍රමාණය මත ඉන්ධන දීමනාවක් හිමිවන බවත්, එය සූත්‍රයක් අනුව ගණනය කරන බවද කුෂාණි රෝහණධීර මහත්මිය  සඳහන් කළාය.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවසක් නොමැති අයට, අයදුම් කර මාදිවෙල ඇති මන්ත්‍රී නිවාස ලබාගැනීමට හැකියාව ඇති බව ද ඇය පවසා සිටියාය.

මාදිවෙල එවැනි නිවාස 108ක් මේ වනවිට ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉල්ලීම පරිදි පළමුවෙන් ඉල්ලීම් ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බවත් කුෂානි රෝහණධීර මහත්මිය මෙහිදී සඳහන් කළාය.

එමෙන්ම නිවාස කුලිය ලෙස රු 2,000ක මුදලක් ගෙවන බවත්, විදුලිබිල හා ජල බිල අදාළ මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතු බව ද පාර්ලිමේන්තු මහලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියාය.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන එම මුදල දීමනාවලින් අඩු කිරීමටත් පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය එක්ව පහසුකම් සලසා ඇති බවත් කුෂානි රෝහණධීර මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දීමනා ද අදාළ අමාත්‍යාංශය විසින් දරනු ලබන බවද ඇය පෙන්වා දුන්නාය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.

රැස්වීම් දීමනාව, කාරක සභා දීමනාව, කාර්යාල දීමනාව,  මන්ත්‍රී දීමනාව, රියදුරු දීමනාව, ඉන්ධන දීමනාව, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව, නිදහස් තැපැල් පහසුකම් ආදි දීමනා මීට ඇතුළත්ය.

දුරකථන දීමනාව වශයෙන් මන්ත්‍රීවරුන්ට ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= ක්ද පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව ලෙස සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු. 2500 බැගින් රු. 10,000ක දීමනාවක්ද ඔවුන්ට හිමි වේ.

එමෙන්ම,තැපැල් පහසුකම් වශයෙන් සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර ලබා දීම සිදු වේ.

ඉන්දන දීමනාව වශයෙන් එක් එක් මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලබන අතර නිදසුනක් ලෙස කොළඹ ප්‍රදේශයට අයත් මන්ත්‍රීවරයෙකුට මාසිකව ඉන්ධන  ලී‍ටර් 283.94ක් සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කෙරේ.

එය දළ වශයෙන් රුපියල්, 90,000ක පමණ ගණනකි.

තවද, රැස්වීම් දීමනාව වශයෙන්  පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=.ද, කාරක සභා දීමනාව වශයෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්ද,

කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්ද මන්ත්‍රීවරුන්ට හිමි වේ.

ඒ අනුව, මෙම සියලු දීමනාවල එකතුව සැලකූ විට රුපියල් 328,785 ක පමණ ගෙවීම් ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට හිමි වේ.

පුවත්

ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගැන සී.අයි.ඩී. පරීක්ෂණ

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර ‘බැගේජ්’ මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි පසුගිය සිකුරාදා (04 වැනිදා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පැපරින් එන්නත ලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට ජාතික සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

පැපරින් නම් එන්නත රුපියල් 76,000 ට වෙළෙඳපොළෙහි අලෙවි වන අතර එය රුපියල් 321 කට ලබාගැනීමට හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පසුගියදා අනාවරණය කළත් එම මුදලට මෙතෙක් එම එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන නොමැත.

මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්, ඖෂධ ආනයනකරුවන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද සිකුරාදා (04 වැනිදා) පැවැත්විණි.

එහිදී ද අදාළ ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කළේ එන්නත රුපියල් 321 කට ගත හැකි බවයි.

මේ අතර මෙම එන්නත ඇතුළු තවත් එන්නත් හා ඖෂධ ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් සිය ගමන්මලුවල රැගෙන එන බවට තොරතුරු ලැබී ඇති බවද ඖෂද ආනායනකරුවන් මෙහිදී පෙන්වා දී තිබේ.

Continue Reading

පුවත්

විශේෂ මෙහෙයුමකින් 300ක් අත්අඩංගුවට

Published

on

By

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

ඊයේ (04) රාත්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර මෙම ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීමේ දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය  මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම විශේෂ මෙහෙයුම පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රධාන පියවර කිහිපයක්ම මෙහිදී ක්‍රියාත්මක කළ බවය.

විධිමත් වෘත්තීයභාවයකින් සහ විනය ආරක්ෂා කරගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එය මහජනතාවට අවම බාධාවක් සහිතව සිදුකල බවටත් සහතික විය.

දිවයින පුරා තිරසාර සාමය සහ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රදේශවල ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

———————————————————————–

(පෙර පුවත : 2025 ජුලි 05 පෙ.ව. 11:30)

හදිසියේම පොලීසිය සහ හමුදාව කැඳවා සිදුකළ මෙහෙයුම

ඊයේ (04) රාත්‍රියේ රාගම, කඳාන, සහ වත්තල යන ප්‍රදේශවල හදිසි ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබුණි.

යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, සහ පොලීසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ජූලි 03 වන දින රාගම සහ කඳාන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමෙන් පසු, අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ඒ අනුව, මාර්ගවල ගමන් ගත් වාහන සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.

සබැඳි පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

කඳාන වෙඩි තැබීම කොණ්ඩ රංජිගේ වැඩක්!

Continue Reading

පුවත්

කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්.

Published

on

By

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

නිල නිවාස දෙකක් සහ නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිත කිරීම සහ සිය පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් පිළිබඳව චෝදනා කරමින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඊයේ (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා,  මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාස සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා හා රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් කුමාර රණතුංග මහතා විසින් අල්ලස් හා දුෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට රාජ්‍ය දේපල අවභාවිතාව හා දූෂණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින්  අදාළ පැමිණිල්ල බාරදී තිබේ.

කථානායක වෙත නිල නිවසක් ලබා දී ඇති පසුබිමක කොළඹ 04, ලෝරිස් පටුමඟ, අංක 02 දරන ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරන නිවාස 2025 ජනවාරි මාසයේ සිට භාවිත කරන එමගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 14/2025 දරන පරිපාලන චක්‍රලේඛයට අනුව කථානායක වෙත භාවිත කළ හැකි නිල වාහන ගණන දෙකක් එන නමුත් ඔහු නිල වාහන තුනක් භාවිත කරමින් සිටින බව ද පැමිණිල්ලේ දක්වා ඇත.

තවද කථානායකවරයා තමන්ගේ පෞද්ගලික ලේකම්ට ද ලෝරිස් පටුමඟ නිල නිවසේ නවාතැන් දී තිබෙන බවත් ඔහුට ආහාර සැපයීම ද පාර්ලිමේන්තු වියදමින් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මේ අතර පෞද්ගලික ලේකම් වෙත නිල වාහන, ඉන්ධන ලබා දී තිබියදී ඔහු ද භාවිත කරන්නේ කථානායකවරයාගේ වාහන බවට ද චෝදනා කර සිටියි.

මේවා පොදු දේපළ පනත යටතේ මෙන්ම දුෂණ විරෝධී පනත යටතේද ගැනෙන වැරදි ලෙස පැමිණිල්ල ගොනු කළ නව ජනතා පෙරමුණ පෙන්වා දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved