පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ගෝලයෙක් වන “බූචා” කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි.
සැකකරු අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් හට බලහත්කාරයෙන් නීති විරෝධී දුම්වැටි අලෙවි කරනු ලැබු පුද්ගලයෙකු බවද විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම සැකකරු මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී 2020 වර්ෂයේ සැප්තැම්බර් මස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවද හෙලිවී ඇත .
පොලිස් විශේෂ කාර්ය බලකායේ පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා 17 අවිස්සාවේල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල – කුඩගම මාර්ගයේ දී මෙම වැටලීම කෙරිණි .
සැකකරු සතුව තිබී කඩුවක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 280 ක් සහ මුදලින් රු. 220,680.00ක් ද සොයා ගෙන ඇත.
මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් සැලකෙන ඌරුජුවාගේ සමීපතමයකු ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී තියුණු ආයුධයක් සහ මත්ද්‍රව්‍ය සමගින් හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කූඩැල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වන 27 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දිද්දෙනිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් පමණ, සිම් කාඩ්පත්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක්ද හමු වූ බව පොලිසිය පවසයි.