Connect with us

පුවත්

මනූෂට මිනිස් ජාවාරම් චෝදනා යටතේ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක්  (Update)

Published

on

කොරියානු රැකියා සම්බන්ධ E-8 වීසා ඛාණ්ඩය නිකුත් කිරීම පසුපස මිනිස් ජාවාරම දක්වා තල්ලු වන බරපතල අනිතික කාරණා රැසක්  ඇති බවත්, හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාරගේ මැදිහත්වීමෙන් සැලසුම්වන මේ අනීතික ජාවාරම සම්බන්ධව අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (25) පැමිණිල්ලක් කරන බවත් විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කියයි.

දැනට පෙනී යන අකාරයට මෙම විදේශ E-8 වීසා කරලියට රැගෙන විත් විදේශ ඇමති මනුෂ නානායක්කාර අයථා ලාභයක් උපයා ගන්නට සැලසුම් කර  ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි කී සභාපතිවරයා ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුවෙමින් තිබෙන බව අනාවරණය කළේය.

දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ රටක් තවත් රටක් වෙත විදේශ රැකියා සදහා ශ්‍රමිකයෙක් යැවීමේ දී රාජ්‍ය දෙක අතර බල පවත්වන සියලුම නීති බිඳ හෙළමින් කම්කරු ඇමති මනුෂ නානායක්කාර විසින් කළ මේ නීතී විරෝධී රැකියා ගනුදෙනුව සම්බන්ධව නීතිය ක්‍රියාත්ම කරන්නට උත්සාහ කරන විට එය රජයට විරෝධයක් ලෙස යළි මතු කිරීමට දේශපාලන මෙහෙයවීමක් සිදුවන ආකාරය නිරීක්ෂණය වන බවය.

ඔහු මෙසේ ද කීවේය.

රැකියා ප්‍රවර්ධනය තමයි අපේ මූලික අරමුණ. නමුත් අපි එහෙම කිව්වට නීත්‍යානුකූලව ශ්‍රී ලාංකිකයෙක් විදේශගත කරන්නෙ කොහොමද කියලා අපේ ඇක්ට් එකේ ප්‍රතිපාදන තියනවා.

දකුණු කොරියාවට අපට ශ්‍රමිකයින් යවන්න EPS කියන ප්‍රධාන ධාරාවක් තියනවා. ඒ වගේම E 7 කියන කාණ්ඩය අපි ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ලබා දුන්නා. මේ දෙකම කරගෙන යනවා. නමුත් මේ E8 කියන එකේ බලපෑම මොකක්ද කියලා රජයක් විදිහට අධ්‍යයනය කරන්න ඕන. එහෙම අධ්‍යයනයකින් තොරව යම් කිසි අනීතික භාවිතයක් තුළ තමයි මේ වීසා ලබාගෙන තියෙන්නේ.

හිටපු කම්කරු ඇමතිගේ ගිවිසුම කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්නෙත් නෑ…

පැහැදිලි කරන්න ඕන මේතනදි රජයකට ජාත්‍යාන්තරව ශ්‍රමිකයෙක් පිටත් කිරීමේ දී නිසි ක්‍රමවේදයක් තියනවා. ඉතිහාසයට ගියොත් ජාත්‍යාන්තර ගිවිසුමක් හරහා රට යද්දි ගිවිසුම් සහගත වෙන්න ඕන ක්‍රමවේදයක් තියනවා. ඒ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා හිටපු කම්කරු ඇමතිතුමාගේ කම්කරු අමාත්‍යාංශ නිලධාරීන්ගේ පවා දැනුම්වත් භාවයකින් තොරව නීත්‍යානුකූල නොවන ගිවිසුමක් ඔහු විසින් අත්සන් කරලා තියනවා කියන කාරණාව තමයි තියෙන්නේ.

එතනදි ඒ ගිවිසුම සම්බන්ධව කිසිම ලියවිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නෑ. කම්කරු දෙපාර්තමේන්තුවේ ඒ අත්සන් කළ බව කියන අවබෝධතා ගිවිසුම නෑ. මේ වීසා ඛාණ්ඩය යටතේ ප්‍රාන්තයක් වෙනත් රටක ප්‍රාන්තයක් සමගයි ගිවිසුම්ගත වෙන්නේ කෙටි කාලීන රැකියා සඳහා. අපේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ එවැනි අවස්ථාවක් ලබා ගන්න බෑ. ඒ වාතාවරණය තියෙද්දි ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර නොතිබෙද්දී, කැබිනට් පත්‍රිකාව අනුමත කළත් ඉන් පසු රාජ්‍යයන් හා ගිවිසුම්ගත වෙන්න නිත්‍යානුකූල පියවර ගණනක් තිබෙද්දි අප කිසිවෙක් නොදන්නා, ඇමතිවරයා විසින් ගිවිසුම්ගත වුනා කියන අවබෝධතා ගිවිසුමකට අනුව E8 ඛාණ්ඩයේ වීසා නිකුත් වෙනවා. එහෙම වීසා නිකුත් වෙනවා නම් එය සිදුවිය යුත්තේ රජය යටතේ. එහෙත් මේ වීසා නිකුත් කරන්නේ පුද්ගලික රැකියා ආයතනයක්.

ජාවාරම ගැන මුල්ම පැමිණිල්ල සෝල් නුවර තානාපති කාර්යාලයට…

අපි දන්න පරිදි හිටපු ඇමතිවරයා MOU එක කියන ලියැවිල්ල අත්සන් කරලා තියෙන්නේ අප්‍රේල් මාසයෙ. එම MOU එකේ කොපියක් විදේශ අමාත්‍යාශයේ කම්කරු අමාත්‍යාංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ නෑ. මැයි මාසයේ සෝල් නුවර ශ්‍රී ලංකා එම්බසියෙන් ලියුමක් ඇවිත් තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වනවිට E8 වීසා නමින් රැකියා සඳහා අනවසරයෙන් මුදල් එකතු කරනවා කියලා. ඒ ලිපිය සොල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එන්නේ පැමිණිල්ලක් ආකාරයට.

එතොකට බියුරෝ එක ලියුමක් දාලා තියනවා E8 වීසා සම්බන්ධව මුදල් එකතු කිරීමට හෝ රැකියා සැපයීමට කිසිම අවස්ථාවක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා නෑ. ඒ සම්බන්ධව දැනුවත් නෑ කියලා.

හිටපු ඇමතිතුමා මේ ලියවිල්ල අත්සන් කරලා ඉතා කෙටි කාලයකින් පුද්ගලික කණ්ඩායම්වලට මේ පණිවිඩය ගිහින් තියනවා. කොරියානු ශ්‍රමිකයින් පුහුණු කරන ආයතනයක් ලංකාවේ තියනවා. භාෂාව පුරුදු කරන ආයතනයක්. භාෂාව පුහුණු කරන්න ගෙන්වන ළමයින්ට තමයි මේ E8 වීසා ඛාණ්ඩාය ගැන දනුම්වත් කරලා පුද්ගලික ආයතන හරහා E8 වීසා නිකුත් කරලා තිබෙන්නේ.

E8 යටතේ කවුරුවත් කොරියා ගියෙ නෑ…

වීසා නිකුත් වෙලා තියනවා, හොරෙන් MOU එක්ක අත්සන් කරලා තියනවා, කියන මතය එනකොට අපි ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කරනවා වැරදි පාරෙන් පිටත් වෙන එක නවත්වන්න.

අප පැහැදිලිව කියන්නේ E8 කියන්නේ ජාවාරමක්. ඒ යටතේ කිසිම කෙනෙක් ලංකාවෙන් ගියෙ නෑ. යන්න හිටිය කණ්ඩායමක් නීත්‍යානුකූළ නොවන ආකාරයට යන්න ගිහින් අත් අඩංගුවට පත් වුනා. එහෙම අත් අඩංගුවට පත් වුන තරුණයින් 08ක් පමණ කම්ප්ලේන් කළා ඒ අයගෙන් පුද්ගලිකව මුදල් අරගත්තා කියලා ලක්ෂ 12ක්. ඒකට අපි නීත්‍යානුකව කටයුතු කරලා පුද්ගලයින් අත් අඩංගුවට අරන් රුපියල් මිලියන 7 ක් පමණ මුදලක් අයකරගෙන දීලා තියනවා.

වීසා 108ක් තමයි නිකුත් වෙලා තියෙන්නේ ගණන් හැදුවොත් ඒ වගේ පුද්ගලයින් දහ ගුණයක් විතර ඇවිත් පුද්ගලිකව මාව හම්බවෙලා මට බලපෑම් කරනවා. ඒ පසුපස හිටපු කම්කරු ඇමතිවරයාගේ කණ්ඩායම් ඉන්න බව අප නිරීක්ෂණය කළා. .

ඇමති මිනිස් ජාවාරමකට තල්ලු වුනේ ඇයි?

හියුමන් ට්‍රැෆිකිං දක්වා තල්ලුවන ක්‍රමවේදයකට ඇයි මේ ඇමතිවරයෙක් මැදිහත් වුනේ කියන කාරණය සම්බන්ධව බරපතල සැකයයක් මතුවෙනවා. ඇමතිවරයා අයථා ලාභයක් ලැබුවා කියලා සැකකරන්න පුලුවන් මේ වෙලාවේ.

පැහැදිලිවම කියනවා දැන් උද්ඝෝෂණය කරමින් ඉන්න දරුවන්ට. ඔතන හිටියට උත්තරයක් හම්බවෙන්නේ නෑ. ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් මාර්ගය නෙමෙයි ඕක. අනීතික කණ්ඩායම්වලට ගත්ත සල්ලිවලට අපි ඉස්සරහදී නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා. සල්ලි ගත්ත අයට ඒ සල්ලි දෙන්න වෙනවා ඒ ළමයින්ට. ඒ කණ්ඩායම් කරන පෙළඹවීම්වලට අහුවෙන්න එපා. සරලව කියන්නේ ඒකයි. අපි මේක නීතියානුකූල තැනකට ගේන්න අවශ්‍ය සාකච්ඡා මෙහෙයවනවා.

ඔබට කියන්න ඕන මේ කියන්නේ ආණ්ඩුව මේක නොසලකා හරිනවා කියන එක නොවෙයි. අපි දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නෑ. නීතියානුකූල නොවන හොර කණ්ඩායම් වීසා නිකුත් කරලා රටේ ළමයින්ව රට පටවලා සල්ලි හොයන එක නෙමෙයි අපි කරන්න ඕනේ. හරි මඟට අරන් රටේ මානව සම්පත දියුණු කරන්න පුළුවන් ක්‍රමයට සිදුකරන්න. අප එය කරනවා.

මේ වසර පුරාවට 285,000කට ආසන්න ප්‍රමාණයක් විදෙස්ගත කරලා තියෙනවා. අනික් අය යනවා නේ නීතියානුකූලව. මේ 100 මොකද්ද. මේ 100 කියන්නේ පොඩි කණ්ඩායමක්. මේ අයට යන්න දෙන එක ලොකු ගැටලුවකුත් නෙමෙයි. නමුත් අනීතිකව යවන්න එපා. අනතුරක් වුණා, රක්ෂණාවරණයක් නෑ, කොහොමටවත් කැබිනට් පේපර් එකක් නැතුව හොර පාරෙන් ගියපු වීසා එකකට රටේ නීතියට අනුගත කරන්න බෑ. කළ හැකි දේ නීත්‍යානුකූලව කරන්න අපි අලුතින් පටන් ගනිමු.” සභපාතිවරයා කීවේය.

E-8 වීසා ගැටලුව කැබිනට් පටිපාටිය පටහැනියි

මේ අතර, පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, කැබිනට් පටිපාටියට පටහැනිව යමින් සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් කොරියානු E8 වීසා ගැටලු‍ව උද්ගතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය චෝදනා කරයි.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ මෙමගින් විශාල ලෙස මුදල් වංචා කිරීම් ද සිදුව ඇති බවය.

කොරියානු E8 වීසා කාණ්ඩය යටතේ තමන්ව ලියාපදිංචි කර නොගන්නා බව පවසමින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ආරම්භ කර සත්‍යග්‍රහය අද තුන්වන දිනයටත් ක්‍රියාත්මකය.

ඊයේ රාත්‍රීයේත් එම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල රැඳී සිටියහ. 

එමෙන්ම අදාළ පිරිස සිය ගැටළුවට විසදුම් ඉල්ලා අද උදෑසන විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණි. 

සබැඳි පුවත්:


(පෙර පුවත : 2024 නොවැම්බර් 25, ප.ව.3:48)

මනූෂට චෝදනාවක්

පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, කැබිනට් පටිපාටියට පටහැනිව යමින් සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් කොරියානු E8 වීසා ගැටලු‍ව උද්ගතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය චෝදනා කරයි.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ මෙමගින් විශාල ලෙස මුදල් වංචා කිරීම් ද සිදුව ඇති බවය.

කොරියානු E8 වීසා කාණ්ඩය යටතේ තමන්ව ලියාපදිංචි කර නොගන්නා බව පවසමින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ආරම්භ කර සත්‍යග්‍රහය අද තුන්වන දිනයටත් ක්‍රියාත්මකය.

ඊයේ රාත්‍රීයේත් එම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල රැඳී සිටියහ.

එමෙන්ම අදාළ පිරිස සිය ගැටළුවට විසදුම් ඉල්ලා අද උදෑසන විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණි.

සබැඳි පුවත්

පුවත්

 පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ.

ඒ කොළඹ වරාය පොලීසිය නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව අද (27) දින සිදුකළ මෙහෙයුමක් අතරතුරදීය.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඛළ ජනිදු චමෝද් නම් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරාය පොලීසිය විසින් සිදුකරති.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.8.50 )

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)

Published

on

By

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද (27) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාළ සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළාය.

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද  අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියාය.

මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි අල්ලස් කොමිසමේ නිලධාරිය කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදුකර නොමැති බවත් පැවසුවේය.

අදාළ කොරියානු සමාගම  ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ධීවර වරාය නීතිගත සංස්ථාව එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණි.


(පෙර පුවත 2025 ජූනි 27 ප.ව.3.10 )

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)

Published

on

By

ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

අදාළ මන්ත්‍රිවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවති අතර, එහිදී මොවුන් දෙදෙනා පැහැරගැනීමකට ලක්ව තිබුණි.

මන්ත්‍රිවරු දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට අද සිදුවුණි.

ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාවද 22කි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ඇරඹුණි.

නමුත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණි.

පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවය.

මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල්ලැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළේය.

මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි විය.

ඒ අනුව දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබීය.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.10.51 )

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved