Connect with us

පුවත්

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් බව අධිකරණයට දන්වයි

Published

on

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 21 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට ශ්‍රමිකයින් යොමු කිරීමකට අදාළ  අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් මේ හරහා අපරාධමය වරදක් අනාවරණය වී තිබේදැයි විමර්ශන සිදුකරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාලව මේ වන විට ප්‍රකාශ 35ක් පමණ සටහන් කරගෙන  තිබෙන බවත් ඔහු පැවසුවේය.

මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනයේ නියුතු පුද්ගලයින්ගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව පෙත්සම්කාර මනුෂ නානායක්කාර මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවත් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවේදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරිපත් වන කරුණු පරීක්ෂා කර බැලීමේදී නිශ්චිත වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ආකාරයක් පෙනී නොයන අතර මොනයම් හෝ කරුණක් සොයා ගැනීම සඳහා විමර්ශන සිදුකරන ආකාරයක් පෙනී යන බවත් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනු ඇතැයි මතුවූ බිය හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඒත් මෙම අවස්ථාවේදී තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බැවින් මීට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම වුණි.

පුවත්

මෛත්‍රි වන්දි මුදල ගෙවයි (UPDATE)

Published

on

By

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාවක් ලබාදීමට ගත් තීරණයෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙවා අවසන් කර ඇති බව ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නඩුව අද(29) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.

නඩු විභාගය අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට දැනුම් දුන්නේ, කලින් නියම කර ඇති පරිදි වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බවය.

මෙම තහවුරු කිරීමෙන් පසුව, නඩුවට අදාළ ඉදිරි කටයුතුවලින් මෛත්‍රීපාල සිරිසේන නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 29 පෙ.ව.9.50 )

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

රෝයල් පාක් මිනී මැරුම්  සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

Continue Reading

පුවත්

2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී අද (29)  එම වාර්තාව පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වීය .

මහ බැංකුවේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ .

Continue Reading

පුවත්

මැතිවරණ ප්‍රචාරක කටයුතු 03 වැනිදා මැදියම් රැයෙන් අවසන්

Published

on

By

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය බවට ප්‍රකාශයට පත් කරන බවය.

මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අද දිනය දක්වා ක්‍රියාත්මක කර ඇති බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ අදින් පසු නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ නම් මේ මස 30 වැනිදායින් පසුව තමන්ගේ ප්‍රදේශය තුළ පිහිටි උප තැපැල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව ඇති බවය.

තවද මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේදී උචිත ලකුණ සළකුණු කිරීම සඳහා සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවට බෙදීම සඳහා ලබා දුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 94%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෙදා හැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවද පැවසුවේ අදින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මැතිවරණ දිනයය දක්වා වූ කාලය තුළ තමන්ට අයත් තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලය වෙත පිවිස සිය අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved