පුවත්

මම මෝදි සමඟ අත්සන් කළ ගිවිසුම අනුර ක්‍රියාත්මක කළ යුතුයි – රනිල්

Published

on

තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කරන ලද “එකඟතා ලේඛනය’’ (Vision Document) අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

හිටපු ජනාධිපතිවරයා ඉන්දෝර් හි ශ්‍රී සත්‍ය සායි විද්‍යා විහාර පාසලේ පැවති උත්සවයකට සහභාගීවීමට මේවන විට ඉන්දියාවට ගොස් සිටින අතර එහිදී මේ අදහස් දක්වා තිබේ.

වික්‍රමසිංහ මහතා විසින් මෙම එකඟතා ලේඛනයට ඉන්දීය අගමැතිවරයා සමග අත්සන් කරනු ලැබුවේ ඉකුත් වසරේදීය (2023).

දෙරට අතර සහයෝගිතාව පවත්වාගෙන යාම මෙන්ම, ආර්ථික හවුල්කාරිත්වය, සමුද්‍ර, ගුවන්, බලශක්ති යන ක්ෂේත්‍ර දියුණු කිරීම ඇතුළු කාරණා රැසක් මෙම එකඟතා ගිවිසුමේ ඇතැයි පැවසේ.

මෙම වැඩපිළිවෙළ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරියට ගෙනයායුතු බව හිටපු ජනාධිපතිවරයා කියා සිටී. 

එමෙන්ම, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයට පත්ව සිටියදී ඉන්දියාව විශාල ලෙස උදව් උපකාර කළ බවද ඔහු කියා සිටියේය. 

වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ලබන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට ද නියමිතය. 

එහිදී මෙම එකඟතා ලේඛනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ද සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

Trending

Exit mobile version