පුවත්

මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග

Published

on

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව රුපියල් ලක්ෂ 900 ක මුදලක් සොරකම් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මීට වසර 10 කට පමණ ඉහතදී සිදුව ඇතැයි කියන එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර රුපියල් ලක්ෂ 900 ක් මහජන බැංකුවෙන් හොරා කෑවේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනයේ ප්‍රගතිය ලබන මස 30 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරියාට නියෝග කළාය.

කූට ලේඛනයක් සකස් කර දේපළ පවරා ගැනීමක් කළ බවට සඳහන් කරමින් බොරලැස්ගමුව, පැපිලියාන පදිංචි ව්‍යාපාරිකයකු වන යසසිරි කස්තුරිආරච්චි මහතා (යශෝධා එන්ටප්‍රයිසස් හි අධිපති) විසින් 2015 ඔක්තෝබර් 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව පවරා ඇති නඩුවකට අදාළව මෝසමක් මාර්ගයෙන් නීතිඥ ලක්මාලි අස්සලආරච්චි මහත්ගේමියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

‘‘මාගේ සේවාදායකයා වන පැමිණිලිකාර ව්‍යාපාරිකයාට ඔහුගේ දෙමාපියන්ගෙන් හිමිවූ පස්යාලේ පිහිටි රුපියල් කෝටි 400 ක් පමණ වටිනා අක්කර 48 ක ඉඩමක් අදාළ රාජ්‍ය බැංකුවට උකස් කරලා රුපියල් ලක්ෂ 900 ක ණය මුදලක් ලබාගත් බවට ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. මේ රුපියල් ලක්ෂ 900 ක මුදල ගියේ කාටද? එවැනි මුදලක් තම සේවාදායකයාගේ ගිණුම්වලට වැටිලා නැහැ.

සාමාන්‍යයෙන් මෙවැනි රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 900 ක වැනි ණය මුදලක් ලබාදෙනවා නම් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් තිබිය යුතුයි. නමුත් එවැනි තීරණයක් ගැන දැනගන්නට ලැබෙන්නෙත් නැහැ. එහෙනම් රුපියල් ලක්ෂ 900 ක් බැංකුවෙන් හොරා කෑවේ කවුද? ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.’’

Trending

Exit mobile version