පුවත්

මහජන විවාදය ගැන ජාජබේ ඉල්ලීමට සජබෙන් පිළිතුරු

Published

on

ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර දිසානායක මහතා විසින් විවාදයක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති දිනවල එම විවාදය පැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගය (සජබ) පවසයි.

එම විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පසුගිය 22වැනි දින ලිපියක් යොමු කරමින් සමගි ජන බලවේගය වෙත දන්වා තිබුනේ එම විවාදය සඳහා නායක අනුර කුමාර දිසානායක සහභාගි වන බවත් මැයි මාසයේ 07, 09, 13 හෝ 14 යන දිනවලින් එක් දිනක පැවැත්වීමට පක්ෂය සූදානම් වන බවයි.

මෙම ලිපිය සඳහා පිළිතුරු දෙමින් සජබ පවසා ඇත්තේ තමන් මුලින් පක්ෂ දෙකේ ආර්ථික සභා අතර ප්‍රසිද්ධ විවාදයක් යෝජනා කළ බවත්, ජාජබ සිය නවතම ලිපියෙන් එයට ප්‍රතිචාර දක්වා නොමැති බවත්ය.

කෙසේ නමුත් ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසන්නේ ජාතික ජන බලවේගය ඒකපාර්ශවීකව දින තීන්දු කර ඇති බවත් සහ එකී ලිපියේ ආර්ථික කමිටු විවාදය ගැන කිසිදු සඳහනක් නොමැති බවය.

පක්ෂ දෙකේ ආර්ථික සභා අතර විවාදය පැවැත්වේද නැද්ද යන්න තහවුරු කරන ලෙසත්,  ප්‍රසිද්ධ විවාද දෙක සඳහාම දින නියම කිරීම සඳහා අප්‍රේල් 25 හෝ 26 යන දිනවල සාකච්ඡාවකට පැමිණෙන ලෙසත් සජබ ආරාධනයක් සිදුකර ඇත.

Trending

Exit mobile version