Connect with us

පුවත්

මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි 

Published

on

පානීය ජල බෝතල් වැඩි මිලට විකිණීම යන චෝදනාව යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවටකට එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිලිගත් මහරගම CIB Big City ව්‍යාපාරික ආයතනයකට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා විසින් රුපියල් මිලියනයක දඩයක් අද (26) නියම කළේය.

CIB Big City ආයතනය විජය ගෘප් පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන යන්නකි.

අදාළ ආයතන විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන මිලි ලීටර් 500 ප්‍රමාණයේ Kinley වර්ගයේ පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) බෝතලයක් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එනම් රුපියල් 90/- කට විකුණමින් සිටියදී පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරී එස්.පී. පුංචි හේවා මහතාට විකිණීමේදී අතටම හසුකරගතු බව පාරිභෝලික අධිකාරිය අධිකරණයට දන්වා තිබිණි.

මෙම පානීය ජල බෝතලයේ උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70කි.

අදාළ වැටලීම සිදු කර තිබුනේ, ඉකුත් මැයි මාසයේ 09 වැනිදාය.

අදාළ වැටලීමට පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන හර්ෂණ කුමාර හා පියල් සමරනායක යන නිලධාරීන්ද සහභාගි වී තිබිණි.

විජය ගෘප් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස කටුයුතු කරනු ලබන්නේ කේ.ආර්.ජී. විජයසුන්දර මහතාය.

පුවත්

ජනපති හා දකුණු අප්‍රිකාවේ හිටපු හිටපු ජනපති අතර හමුවක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 

මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක  ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය.  

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ  සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය. එසේම, සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවත්  හිටපු ජනපති ම්බෙකි මහතා ප්‍රකාශ කළේය.  

විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කර ගනිමින්, පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිඳියාව පිළිබඳ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට හැකි බවට ම්බෙකි මහතා මෙහිදී විශ්වාසය පළ කළේය. 

ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය. 

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් ෂාල්ක් ( Sandile Schalk), තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස්වෙල් බොක්වානා (Maxwell Boqwana) , තාබෝ ම්බෙකි පදනමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලුක්හන්යෝ නීර් (Lukhanyo Neer) යන මහත්වරුද  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ කළමනාකරු අනුෂ්කා ලෙව්කේ  මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

PTA අහෝසි කරන්නැයි එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ඉල්ලයි

Published

on

By

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුව් මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතු බවයි.

“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වන බව ටර්ක් මහතා පැවසීය.

ජනපති ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දෙනවා

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk)  මහතා ප්‍රකාශ කළේය.

මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් තිබෙන නව දේශපාලනික සහ සමාජයීය පරිවර්තනය අගය කළ මහ කොමසාරිස්වරයා, උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළේය.

තමා මෙරට සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව සඳහන් කළ වොල්කර් ටර්ක් මහතා අද රටේ සියලු ජනතාව යහපත් අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු තබා සිටින බව තම විශ්වාසය බවද පැවසීය.

අතුරුදන් වූවන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. උතුරේ සහ දකුණේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව එක හා සමාන බවත්, ඔවුන් සියලුදෙනා රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු වනු ඇතැ’යි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජනතා අපේක්ෂා සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අදාළ ආයතන අපොහොසත් වූ බැවින්, අතුරුදන් වූවන්ගේ ගැටලුව විසඳීමට එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අතුරුදන් වූවන් පිළිබඳ ඒ අත්දැකීමට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමාට අවබෝධයක් ඇති බවයි.

රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව තහවුරු කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තම රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම මේ අවස්ථාවේදී රජයේ ප්‍රමුඛ අරමුණ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින අභියෝග ඉතා හොඳින් අවබෝධ කර ගනිමින් එම අරමුණ  සඳහා කැප වී සිටින බවත්, එහිදී ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මෙම සැබෑ තත්ත්වය ලෝකය හමුවට ගෙන යමින්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තැබීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් (Marc-André Franche), මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා-පැසිෆික් අංශයේ ප්‍රධානි රෝරි මන්ගෝවන් (Rory Mungoven), මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරි ඉලේන් චෑන් (Elaine Chan), එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක ලයිලා නසරාලි (Laila Nazarali), සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරී අසම් බකීර් මාකාර් (Azam Bakeer Markar), ජනමාධ්‍ය සහ තොරතුරු නිලධාරී ඇන්තනී හෙඩ්ලි (Anthony Headley) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.

Continue Reading

පුවත්

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා (UPDATE)

Published

on

By

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් පිරිසක් නම්කර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර ඇත.

ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත් ය.

ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ඊට ඇතුළත් ය.

එමෙන්ම මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කර ඇත.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කර තිබේ.


(පෙර පුවත 2025 ජූනි 26 ප.ව.12.16 )

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන ලදී.

අදාළ අධිචෝදනා පත්‍රය චෝදනා 13කින් සමන්විතය.

2022 වසරේ රට තුළ පැවති ආර්ථික අර්බුදයට මුවාවී, ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලින් වෙනස් කිරීමට ලක්කර සෞඛ්‍ය අංශ විසින් ඖෂධ මිලදී ගැනීමක් සිදුකර තිබුණි.

මෙලෙස මිලදීගත් ඖෂධ වර්ග අතර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිදේහ භාවිත කළ මහනුවර, මාතලේ සහ කොළඹ යන ප්‍රදේශවල රෝගීන් තිදෙනෙකුට සංකූලතා මතුවූයේ  ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුකරමිනි.

ඒ පිළිබඳ ලද පැමිණිලි 02ක් පාදක කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.

පසුව එකී විමර්ශනය අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ආරම්භ කෙරුණේ පුද්ගලයින් 12 දෙනකු සැකකරුවන් ලෙස නම්කරමිනි.

ඒ ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරින් පිරිසකි.

නඩුවේ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර සිට පසුව ඇප මත මුදාහැරුණද, පළමු සැකකරු වන ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ සැපයුම්කරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

එවන් පසුබිමක පසුගිය 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන්වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් වසරකුත් මාස 08යි දින 06ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මේවනවිට අවසන් කෙරුණු බවය.

ඒ අනුව මෙම නඩුව විභාගකිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ විත්තිකරුවන්ට එරෙහිව අද අධිචෝදනා ගොනුකෙරුණි.

මෙලෙස අධිචෝදනා ගොනුකිරීම සිදුකෙරුණේ මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේය.

ඒ හියුමන් හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ්  නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි.

අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved