පුවත්

මහල් නිවාස 8000කට සින්නක්කර ඔප්පු

Published

on

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8,000කට ලබන මාසයේදී සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මීට අමතරව, ජාතික නිවාස සංවර්ධන අධිකාරියද ඔප්පු 1,070ක් ලබා දීමට සැලසුම් කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අයවැයේදී සඳහන් කළ බවත් මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ඒ අනුව බවත් සඳහන් වේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සින්න පදනමින් ලබා දී ඇති සහාධිපත්‍ය නිවාස ඒකක 22ක 14559ක් අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබා දීම “මිහිඳු සෙන්පුර”, “සිරිසර උයන”, “මෙත්සර උයන”, “ලක්මුතු සෙවණ” හා “සිරිමුතු උයන” යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන බව සඳහන්ය.

ඊට අමතරව, ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවන, ජයමග සෙවන, මිහිජය සෙවන, හෙළමුතු සෙවන, සියපත සෙවන, ලක්සෙත සෙවන යන ලක්හිරු සෙවන යන නිවාස ව්‍යාපෘතිවල හිමිකම් ඔප්පු මේ වසර අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති මහල් නිවාස සඳහා ප්‍රථමයෙන් හිමිකම් ඔප්පු ලබා දීමට සැලසුම් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මෙම නිවාසවල අයිතිය අදාළ පදිංචිකරුවන් වෙත නිත්‍යානුකූලව පැවරීමට ප්‍රමාද වී ඇත්තේ, ඇතැම් නීති රීතිවල පවතින ගැටලුසහගත තත්ත්වය නිසා බවය.

Trending

Exit mobile version