Connect with us

පුවත්

මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Published

on

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ.

ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතී.

බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අදාළ ධුරය සඳහා ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් තෝරා පත් කරගෙන ඇති බව සඳහන්ය.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනු ලබයි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන තිබේ.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් -19 වෛරසය, සාර්ස් වෛරසය වැනි වෛරස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇය විසින් සිදුකරන ලද පර්යේෂණ සඳහා ජාත්‍යන්තරයේ පිළිගැනීමක් පවතී.

ලොව බලපෑම් සහගත පර්යේෂණ අගය කරමින් එල්.සේවියර් ස්ටෑන්ෆර්ඩ් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ලොව ඉහළම විද්‍යාඥයින්ගේ ලැයිස්තුවට ද ඇතුළත්ව සිටී.

පුවත්

ලෝක බැංකු සභාපති හෙට දිවයිනට

Published

on

By

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා හෙට (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් (UPDATE)

Published

on

By

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි.

පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4ට අවසන් විය.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණි.

ඒ අනුව සභිකයින් 8,287 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසීය.

සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සිද්ධි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බවද පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේය.

මේ අතර මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.


(පෙර පුවත 2025 මැයි 06 ප.ව.3.06)

පස්වරැ 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  40% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මන්නාරම – 54%
  • රත්නපුර – 50%
  • වව්නියාව – 49%
  • අම්පාර  – 48%
  • බදුල්ල – 48%
  • මාතර – 45%
  • කෑගල්ල – 45%
  • කළුතර – 45%
  • පොළොන්නරුව – 45%
  • මොණරාගල – 43%
  • හම්බන්තොට – 42%
  • පුත්තලම – 40%
  • අනුරාධපුරය – 40%
  • කොළඹ -40%
  • කිලිනොච්චිය – 39%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.2.25)

දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • බදුල්ල – 48%
  • මන්නාරම – 47%
  • මොණරාගල – 43%
  • අම්පාර  – 41%
  • අනුරාධපුරය – 40%
  • කිලිනොච්චිය – 39%
  • පුත්තලම – 38%
  • රත්නපුර – 38%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.1.26)

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මාතර – 42%
  • මන්නාරම – 40%
  • ත්‍රිකුණාමලය – 36%
  • බදුල්ල – 36%
  • ගාල්ල – 35%
  • යාපනය 35%
  • පොළොන්නරුව – 34%
  • කෑගල්ල – 33%
  • මහනුරව 33%
  • අම්පාර  – 31%
  • රත්නපුර – 30%
  • පුත්තලම  – 30%
  • අනුරාධපුර 30%
  • කොළඹ – 28%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading

පුවත්

වියට්නාම් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට

Published

on

By

වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද  (06)  දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා  මෙම රාජ්‍ය සංචාරයේ නිරත විය.  

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපතිවරයා සහ සමග නිල සාකච්ඡා පැවැත්වූ අතර වියට්නාමයේ රාජ්‍ය ප්‍රධානීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි.

එසේම ජනාධිපතිවරයා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) මහතා සමග සාකච්ඡා පවත්වනු ලැබීය. එහිදී වසර 55ක් පුරා දෙරට අතර ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩ නැඟුණ  සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ බහුවිධ සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳව අවධාරණය කෙරිණි.

ජාතික සංවර්ධනයේ දී දෙරට අතර ඇති සමීප මිත්‍රත්වය සහ මහඟු සහයෝගය ඉදිරියේදී ද වඩා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.

මේ අතර ජනාධිපතිවරයා වියට්නාමයේ යුද විරු ස්මාරකය සහ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම  රාජ්‍ය සංචාරය අතරතුර වින්ගෲප් (Vingroup), සන් ගෲප් (Sun group), එෆ්. පී. ටී. සංස්ථාව (FPT Corporation), සොවිකො (SOVICO) සමූහය, රොක්ස් (ROX) සමූහය වැනි වියට්නාමයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා රැසකට ද එක්විය.

තවද මෙම සංචාරයේදී අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර දෙරට අතර දිගුකාලීන බෞද්ධ සබඳතා යළිත් තහවුරු කරමින් එහි ප්‍රධාන දේශනයද පැවැත්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved