Connect with us

පුවත්

මහා වංචාවකට හයිවේ කැෂියර්ලා 22කගේ වැඩ තහනම් කරයි

Published

on

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා කියයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂ, අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදු කර තිබේ.

2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවැති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන මෙම මුදල් වංචාව විදුලි අර්බුදය අවසන් වීමෙන් අනතුරුව ද සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

විදුලිය විසන්ධි කරමින් මෙම වංචාව සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරු 27 දෙනකු සේවයේ යෙදෙන අතර ඉන් 22ක් මෙම වංචාවට සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කර ගනිමින් මෙම වංචාව සිදු කර ඇතැයි හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ 2024 ජනවාරි මස අග භාගයේ දින කීපයක් තුළ පමණක් ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වංචා කර ඇති බවය.

මෙම වංචනික ක්‍රියාව හසු කර ගැනීම සඳහා විදුලිය අක්‍රිය කළ විට ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා විකල්ප ක්‍රමවේදයක් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත විදුලි අංශය විසින් ක්‍රියාත්මක කර තිබේ. 

මුදල් අයකැමිවරයන් විදුලිය විසන්ධි කර සිදු කරන මෙම වංචාව ඒ තුළින් ඉතා පැහැදිලිව ඒ අනුව ආරක්ෂක කැමරා මඟින්ම අතටම අල්ලා ගැනීමට හැකි වී තිබෙන බව සඳහන්ය.

පසුගිය ජනවාරි මස 20 වැනි දින විනාඩි 16ක කාලයක් තුළ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණි වාහන 23කින් මුදල් ලබාගෙන ඇතත් මුද්‍රිත ටිකට්පත් දී ඇත්තේ වාහන 04කට පමණක් බව පෙනී ගොස් තිබේ.

එදින පෙරවරු 11.30 සිට 2.30 දක්වා කාලය තුළ අයකැමි විසින් වාහන 38කට මෙසේ ටිකට්පත් නිකුත් නොකර සිදු කර ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් 19,500ක් බව ද අනාවරණය වී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ද අතුරුගිරිය අධිවේගි පිවිසුමේ සිදු වූ එම වංචාවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ද ලක්ව ඇත. 

විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් ද මේ බව අනාවරණය වී තිබිණි.

වසර ගණනාවක සිට කෙරණ මෙම වංචාවට සම්බන්ධ සේවකයන් වාහන මිල දී ගෙන නිතර සාද පවත්වමින් සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි බව ද පෙනී ගොස් ඇත.

වැඩ තහනම් වූ කාලය තුළදී පූර්ව අනුමැතියකින් තොරව අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයට හෝ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් කිසිදු කාර්යාල භූමියකට මෙම සේවකයන්ට ඇතුළු වීම තහනම් කර ඇත.

එසේම ඔවුන්ට පුද්ගලික කටයුත්තක් සඳහා වුවත් විදේශගත වීම තහනම් බවත් වැඩ තහනම් කාලය තුළදී වැටුප් ගෙවනු නොලබන බවත් ඉදිරියේදී විනයානුකූලව කටයුතු කරන බවත් සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් ද නිකුත් කර තිබේ.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved