Connect with us

පුවත්

මහා විහාර විශ්වවිද්‍යාලය හදන්න ජපන් රජයේ සහාය ගන්නවා – ජනපති

Published

on

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනයට හා ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට. 

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත කඩිනම් කිරීමට උපදෙස්.

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකරන තම ජපන් සංචාරයේදී මේ සඳහා ආධාර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීම ද අපේක්ෂාව බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් අද (20) උදෑසන බැහැදුටු අවස්ථාවේදී ය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් මල්වතු, අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.

පසුගිය පෙබරවාරි 19 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කළ ඉල්ලීම පරිදි මෙම පනත් කෙටුම්පත මාස තුනක් ඇතුළත සකසා නැවත මහනායක හිමිවරුන්ගේ අනුශාසනාව සඳහා පිළිගැන්වීම විශේෂත්වයකි.

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත විධිමත්ව කඩිනමින් ඇති කිරීමේ අවශ්‍යතාව මහා නායක හිමිවරුන් විසින් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

ඒ අනුව නිකායන් හතරෙහිම මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද සඳහන් කළේය.

අද උදැසන පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මල්වතු මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.

මහනුවර නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අති නවීන නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා මහනුවර මහනගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, රටේ සියලුම මග නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.

පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා, නගර සභා බවට පත් කිරීමට අපේක්ෂා කරන බවත් එය මහනුවර නගර සංවර්ධන සැළැස්ම යටතේ ක්‍රියාත්මත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මහනුවර පැරණි බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කරමින්, සංචාරක ආකර්ශනයට ලක්වන ප්‍රදේශයක් ලෙස සංවර්ධන කිරීම සඳහා වන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම කුරුණෑගල සහ ගලගෙදර දක්වා වන අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාවත්, ඉන් සැළසෙන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය .

“මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඉන් පසුව යාපනය මහ නගර සංවර්ධනය සිදු කරනවා.

ඒ වගේම ජපන් ආධාර යටතේ මහා විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ථෙරවාදි බුදු දහම ඉගැන්වීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම කෘතීම බුද්ධිය සහ මනස පිළිබඳව ඉගැන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ වගේම කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අපි අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 8 ක අස්වැන්නක් නෙළා ගැනීමට එමගින් හැකියාව තිබෙනවා. එක් කිරි ගවයකුගෙන් කිරි ලීටර් 10ක් ලබා ගැනීමේ හැකියාව මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙල හරහා සිදු කළ හැකියි.

ඒ වගේම මහනුවර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් දවසක් හෝ දෙකක් රඳවා තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචියත් ඉතා වැදගත්. ඔවුන්ට දළදා මාළිගාව පිළිබඳව සහ බෞද්ධ ඉතිහාසය උඩරට ඉතිහාසය ගැන දැනුමක් ලබාදිය යුතුයි.”

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.

පසුගිය වෙසක් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම පිළිබඳ අස්ගිරි මහා නා හිමි ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා මෙහිදී ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළහ.

පුවත්

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි!

Published

on

By

නව විගණකාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නැයි එහි අංශ ප්‍රධානීන්ගේ සංසදය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

විගණකාධිපති තනතුර සඳහා මේ වන විට විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් වී ඇති බව දැන ගැනීමට ලැබී ඇති නමුත් වංචාව හා දූෂණයෙන් තොර පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා වූ රජයේ අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය විගණන ක්‍රියාවලියට පැවරී ඇති වගකීම ඉටු කිරීමට සුදුසුකම් සහිත නිලධාරියා වත්මන් වැඩ බලන විගණකාධිපතිවරයා යැයි තරයේ විශ්වාස කරන බවත් එම ඉල්ලීම්වල සඳහන් කර ඇත.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූ බව සිහිපත් කරන එම වෘත්තීය සමිති ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා ව්‍යවස්ථානුකූල සියලු සුදුසුකම් මෙන්ම එම තනතුර දැරීම සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් හා පළපුරුද්ද හා පරිචයන් සම්පූර්ණ කර සිටින බවත් සඳහන් කරයි.

මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

අංශ ප්‍රධානීන්ගේ සංසදයට අංශ ප්‍රධානීහු හැට පස් දෙනෙක් අයත් වන අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය යන වෘත්තීය සංගම් අයත් වෙයි.

Continue Reading

පුවත්

අංගම්පිටිය ක්‍රීඩා පිටියේ සැණකෙළි නවත්වා කෝට්ටේ නගර සභාවට වාරණයක්

Published

on

By

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කෝට්ටේ අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ උත්සව හා සැණකෙළි පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුළු පස් දෙනකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ (21) නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, එහි නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර, මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරු, අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණය භාරව සිටින සිව් පිරිසකට අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව මගින් පාලනය වන අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ විවිධ උත්සවයන් සහ සැණකෙළි පැවැත්වීම තුළින් මහජන පීඩාවක් සිදුවන බව චෝදනා කරමින්, කෝට්ටේ අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ෂෙහාන් දුෂාන්ත ද සිල්වා, ශාමිනි අල්විස්, ග්ලේන් මැතිව්, අසංක සංජීව කරුණාරත්න, කේ. ඒ. ඕ. එස්. කුරුප්පු යන අය විසින් ගොනු කර තිබූ පෞද්ගලික නඩුවක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

Continue Reading

පුවත්

දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස අදාළ කාර්යංශය එම වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

1. විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න.

2. ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මනින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න. 

3.ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් ( මීමැස්මොරය, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා) එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. 

4.තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න.

5.ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම් රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න.

6. ඔබේ දරුවාගේ සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දුරකථන අංකය ලියා රඳවන්න.

7. කිසිඳු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි. අනතුරු වළක්වා ගනිමු.

8. අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න, කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම කසළ නියමිත බඳුන් වලට දමන්න. ඔබේ වගකීම ඉටු කරන්න.

9. ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇති වුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිලධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.

10. දුම්රිය පාපුවරුවේ. ජනේල වල හෝ බඳේ එල්ලි යාමෙන් වැලකී දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු වළක්වා ගනිමු.

11. ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න.

12. ඔබේ පෞද්ගලික ස්වස්තතාව රැක ගැනීමට කුඩා සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් දියර (hand sanitizer) රැගෙන යන්න.

13. මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකෂර්ක ( පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.   

“සිරි දළදා වන්දනාවේ” 05 වන දිනය අදයි.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved