Connect with us

පුවත්

මහින්දානන්දට එරෙහි කැරම් බෝඩ් නඩුව යළි කැඳවයි

Published

on

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද යළි විභාගයට ගැනුණි.

ඒ ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000 ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කලේය.

එහිදි ඔහු පැවසුවේ මෙම නඩුවට පාදක වන කැරම්බෝඩ් හා දාම් ලෑලි 14,000 බැගින් ආනයනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් තමන්ට අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් එල්ල කර ඇති බවය.

මෙම කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කිරීම ස.තො.ස ආයතනය හරහා සිදුවී ඇතැයි සඳහන් කළ හිටපු අමාත්‍යවරයා එම ක්‍රීඩා භාණ්ඩ තොගය ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවලට ලැබී නොමැති බවද කියා සිටියේය.

ඒ අනුව අදාළ ක්‍රීඩා භාණ්ඩ ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවත් එම භාණ්ඩ ආනයනය කිරීම සිදුව ඇත්තේ ස.තො.ස සහ ආයතනය හරහා බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තම පක්ෂය පරාජයට පත් වූ බවත් ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගීම සඳහා තමන් මුල් වී කටයුතු කළ බවත් ඔහු අධිකරණය හමුවේ පැවසුවේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් රට පුරා පැවැත්වීමට තමන් දායකත්වය ලබා දුන් බැවින් දේශපාලන පළිගැනීමක් වශයෙන් තමන්ට එරෙහිව නඩු හතක් ගොනු කළ බවත් ඉන් නඩු කිහිපයකින්ම තමන් නිදොස් කොට නිදහස් කෙරුණු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පැවසීය.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ තමන්ව දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක් කිරීමට යැයි සඳහන් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම චෝදනාවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසයි.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් මස 19 වනදා දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරයා විසින් හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගතවීමට අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල දෙසැම්බර් මස 12 වැනිදා සිට 18 වැනිදා දක්වා කාල සීමාව තුළ හිටපු අමාත්‍යවරයාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගතවීමට අවසර ලබා දුන්නේය.

පුවත්

 පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ.

ඒ කොළඹ වරාය පොලීසිය නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව අද (27) දින සිදුකළ මෙහෙයුමක් අතරතුරදීය.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඛළ ජනිදු චමෝද් නම් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරාය පොලීසිය විසින් සිදුකරති.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.8.50 )

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)

Published

on

By

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද (27) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාළ සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළාය.

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද  අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියාය.

මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි අල්ලස් කොමිසමේ නිලධාරිය කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදුකර නොමැති බවත් පැවසුවේය.

අදාළ කොරියානු සමාගම  ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ධීවර වරාය නීතිගත සංස්ථාව එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණි.


(පෙර පුවත 2025 ජූනි 27 ප.ව.3.10 )

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)

Published

on

By

ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

අදාළ මන්ත්‍රිවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවති අතර, එහිදී මොවුන් දෙදෙනා පැහැරගැනීමකට ලක්ව තිබුණි.

මන්ත්‍රිවරු දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට අද සිදුවුණි.

ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභිකධුර 22ක් හිමිකරගෙන තිබූ අතර සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභිකධුර සංඛ්‍යාවද 22කි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ඇරඹුණි.

නමුත් එම අවස්ථාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැරගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම්දී තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන් පැමිණෙන තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණි.

පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේ පවසා ඇත්තේ සභාවේ ගණපූරණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවය.

මේ තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල්ලැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළ කළේය.

මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි විය.

ඒ අනුව දින 30ක කාලයක් තුළ යළි සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල්තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබීය.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.10.51 )

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved