දින දෙකක පමණ කාලයක සිට කොළඹ ආශ්‍රිත වෙරළ තීරයට කැස්බෑ මළසිරුරු අසාමාන්‍ය ලෙස ගොඩ ගැසීමක් සිදුවන බව පරිසරවේදීහු කියති.
පසුගිය 22 වැනිදා වැල්ලවත්තේ සිට ගාලු මුවදොර දක්වා වෙරළ තීරය තුලින් කැස්බෑ සිරුරු 10 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඊයේ (23) දිනයේද පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරයන් වෙතද කැස්බෑ සිරුරු විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබූ බව වාර්තා වේ.
මෙම කැස්බෑ මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරයද දක්නට ලැබි තිබූ අතර මිය ගිය මසුන්ගේ සිරුරු කිහිපයක්ද වෙරළ තීරයට ගොඩගසා තිබිණි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය පොලීසිය හා නාවික හමුදාව සමග අදාළ ස්ථානවලට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04 ද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවුන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසයි.
කැස්බෑවෝ පුපුරලා මැරෙන්නේ ඇයි?
කැස්බෑවන් මෙලෙස අසාමාන්‍ය ලෙස මිය යාමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැතත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ ගැඹුරු මුහුදු තීරයේ මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදුවූ පිපිරීමක් මීට හේතුව විය හැකි බවය.
එමෙන්ම ‘ලයිලා’ වැනි ධීවර ක්‍රමයක් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ යම් කාන්දුවක් මීට හේතුව විය හැකි යැයි ද ඔහු සැක පළකරයි.
මේ අතර, කොළඹ දිස්ත්‍රික් අඩවි වන ආරක්ෂක නිලධාරී සමන් ලියනගම මහතා කියා සිටින්නේ කැස්බෑවුන්ගේ කට්ට පිපිරීම සිදුවිය හැකි ක්‍රම කිහිපයක් ඇති බවයි.
ඉන් එකක් ඩයිනමයිට් වැනි පිපිරීමක් නිසා සිදු විය හැක බවත්, ඉක්මන් පීඩන තත්ත්වයක් ඇතිවීමෙන් පෙනහළ්‍ර වලට වන හානි නිසා එය සිදුවන බව සමන් මහතා පෙන්වා දෙයි.
එසේම මියගොස් දින කිහිපයක් ගිය පසුව කට්ට පිපිරීම සිදුවන බව ඔහු කියා සිටියේය.