Connect with us

පුවත්

“මාලනීට, අපි ජාතියක් හැටියට නිසි ප්‍රණාමය පුද කළාද?”

Published

on

මෙතෙක් කාලයක් කිසිම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් නොලැබූ ආකාරයේ රසික ප්‍රසාදයක්, ගරුත්වයක් මාලනී ෆොන්සේකාට ලැබුණ ද ජාතියක් වශයෙන් ඇයට ලබා දිය යුතු ගරුත්වය ලැබුණාදැයි විටෙක සිතෙන බව ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයේදී කියා සිටියේය.

එහිදී රංගවේදි රවීන්ද්‍ර රන්දෙණිය මෙසේද සඳහන් කළේය.

‘‘මම මේ විවේචනයක් කරනවා නොවෙයි. ඒත් ඇයට මීටත් වඩා මහා ගරුත්වයකින් මේ රට සැලකිය යුතුව තිබුණා කියලා මට හිතෙනවා. ඇය ඉන්දියාවේ හිටියා නම් පද්ම ශ්‍රී සම්මානයෙන් විතරක් නොවෙයි භාරත රත්න සම්මානෙනුත් පිදුම් ලබනවා. ඒ තරම් මහා සේවයක් එතුමිය සිනමාව වෙනුවෙන් කළා. අපි ඇයට අඩුම තරමේ ඊට සමීප සම්මානයක්වත් දුන්නේ නැහැ. මට මතකයි කාලයකට කලින් ඇයට යම්කිසි රාජ්‍ය ගරුත්වයක් ලැබුණා. මේ රටේ ජනතාව නම් ඇයට දරාගන්න බැරි, ජීවිතයේ කිසිම කෙනෙක්ට ලබන්න බැරි මහා සම්මාන ගොන්නකින් එතුමියට පුද උපහාර දැක්වූවා. කලාකරුවන් අතින් ජාතියට කෙරෙන මෙහෙවර පිළිබඳව අපි යම්කිසි ආකාරයකින් කල්පනාවට ගත යුතුයි කියලා මට හිතෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, නන්දා මාලනියන් වැනි ලෝක පූජිත විය යුතු කලාකරුවන් මොනතරම් අපේ රටෙන් බිහිවෙලා තියෙනවද? නමුත් අපි ජාතියක් වශයෙන් නිසි ප්‍රණාමයක් පුද කරලා තියෙනවද? 

මාලනීගේ අවමගුලේදී කියන්න ඕන නැති ඒවා…..

“මම මේ කියන දේවල් මාලනියගේ අවමංගල උත්සවයේදී කතා කළ යුතු දේවල් නොවෙයි කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. දේශීය සිනමාවේ ශිල්පීන් වෙනුවෙන්, දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් මාලනී ෆොන්සේකා මහත්මිය තමන්ගේ ජීවිත කාලයම කැප කළා. තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් වෙහෙස මහන්සි වෙමින් මේ රටේ කලාකරුවන්ගේ සියලු ගැටලුවලදී ඉතාමත් ප්‍රබලව ක්‍රියාකාරීව ඉදිරිපත් වෙලා මාලිනී ෆොන්සේකා මහත්මිය සටන් කරලා තියෙනවා. එතුමියට උපහාරයක් වශයෙනුයි මම මේ අදහස් ප්‍රකාශ කළේ.”

කලා කාරයන්ට විශේෂ වරප්‍රසාද නෑ…

“කලාවේ නියුතු අයට අනෙකුත් රැකියාවලින් ලැබෙනවා වගේ විශේෂ වරප්‍රසාද හිමිවෙන්නේ නැහැ. අර්ථසාධක හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන ප්‍රතිපාදන කිසිවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. රැකියාව අහිමිවන දාට ඔවුන් අසරණ තත්ත්වයට පත්වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කවර හෝ වැඩපිළිවෙලක් මේ රටේ කලාකරුවන් වෙනුවෙන් විය යුතුයි කියන එකත් මාලනී ෆොන්සේකා මහත්මියගේ සිහිනයක් වෙලා තිබුණා. ඇයගේ බලාපොරොත්තුව ඉටුවේවා කියලත් ඇයට සමුදෙන මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා.”

 රජය කලා කාරයින්ට රාජ්‍ය ගෞරවයදීල සැලැකිය යුතුයි

“මාලනිය කියන්නේ රංගනය පමණක් කළ ශිල්පිනියක් නොවෙයි. ඇය කලාව තුළින් මුළු රටක්, ලෝකයක් වසඟ කළ මුළු ලෝකයේම ගෞරවය දිනාගත් කෙනෙක්. සමස්ත ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් කලාකරුවෙක් හෝ කලාකාරිනියක ශ්‍රී ලංකාවෙන් බිහිවෙලා නැහැ. එතුමියට ජාතියක් වශයෙන් සමුදෙන ඓතිහාසික මොහොතේ මොනතරම් රික්තයක් රට තුළ ඇතිවෙනවාද? එතුමිය කළ මහාර්ඝ සේවය දේශීය සිනමාව පවතින තාක් කල් වෙන කෙනෙක්ට කරන්න බැහැ. ඒ මහා සේවය වෙනුවෙන් මුළු ජාතියේම ප්‍රණාමය ඇයට හිමි විය යුතුයි. රාජ්‍ය ගෞරව සහිතව මේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට තීරණය කළාට මම රජයට මගේ ගෞරවය ආචාර්ය පළ කරනවා. කලාකරුවන්ට සැලකිය යුත්තේ එලෙසයි.’’

පුවත්

මෙරට පුද්ගලයකු වසරකට ප්ලාස්ටික් කිලෝ 12ක් පාරිභෝජනය කරනවා – ඇමැති ජයකොඩි

Published

on

By

මෙරට පුද්ගලයකු වසරකට දළ වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 12ක් පාරිභෝජනය කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසීය.

ලෝක පරිසර දිනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’ යන්නයි.

කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලෝක පරිසර දිනය සැමරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ‘කෑගලු ප්‍රකාශනය’ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරටදී වසරකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක (250,000)ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන බවත්, ඉන් සියයට දහයක් (10%)ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ලෝකයේ ප්ලාස්ටික් පාරිභෝජනය ඉකුත් වසර (2024) වන විටදී මෙට්‍රික් ටොන් මිලියන හාරසිය විස්සක් පමණ වන බවද, මෙම ප්‍රමාණය වසර 2050 පමණ වන විටදී මෙට්‍රික් ටොන් බිලියන තිස් හතරක් දක්වා ඉහළ යනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

සූර්යාලෝකය, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ආදී විවිධාකාර හේතු මත ප්ලාස්ටික් කුඩා අංශුවලට (මිලි මීටර් පහට වඩා කුඩා අංශු) කැඩී ගොස් මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වන බවත්, මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිර වාහිනී පද්ධතිවලට එකතු වී ඒවාට හානි සිදුවන බව කී ඒ මහතා මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ මෙරටදී වසරකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්නව දහසත් (249,000) – දෙලක්ෂ පනස දහසත් (250,000)ත් අතර ප්‍රමාණයෙන් සියයට හැත්තෑ තුනක් (73%)ක් පමණ එකතු කළද, ඉන් අනතුරුව සිදු කරන්නේ ඒවා විවිධ ස්ථානවල ගොඩගැසීම බවයි.

මුහුදු තෘණ පරිසර පද්ධතිය විසින් කාබන් අවශෝෂණය කරගන්නා බවත්, එය වනාන්තරවලට වඩා සිව් ගුණයත් දස ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ බවත් පෙන්වා දුන් ඇය මුහුදට ප්ලාස්ටික් එකතුවීම හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වන බවද සඳහන් කළාය.

Continue Reading

පුවත්

ස්ටාර්ෂිප් යානයේ සියලු සබඳතා බිඳ වැටෙයි

Published

on

By

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම දියත් කළ මිනිසුන් රහිත වඩාත් බලගතු ස්ටාර්ෂිප් යානය සමඟ පැවති සියලු සබඳතා බිඳවැටී තිබේ.

මේ අනුව යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇදවැටෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම අද සිය 9 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදුකළා.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

කෙසේ නමුත් ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවට එම සමාගම නිවේදනය කළේ ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින්ය.

SpaceX සමාගමට අනුව යානයේ කොටස් කඩාවැටීමට නියමිතව ඇත්තේ ඉන්දීය සාගර කලාපය වෙතටයි.

මේ අනුව එහි සැලකිය යුතු කලාපයක් නිදහස්ව තැබිය යුතු බවත්, ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් යානයේ කොටස් ඇදවැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව එම සමාගම පවසයි.

Continue Reading

පුවත්

මීගමුවේ අදත් වෙඩි තැබීමක්

Published

on

By

මීගමුව, තලාදූව ප්‍රදේශයේ දී අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා අතර අද සවස් කාලයේ දී බහින්බස් වීමක් හට ගෙන ඇති අතර, පසුව එක් අයෙකු සන්තකයේ තිබූ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් ජීවිත හානි සිදුව නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත් මීගමුව පොලීසිය විසින් අදාළ පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවියට නීත්‍යානුකූල බලපත්‍රයක් ඇති බවත් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවටත් කරුණු හෙළිදරව් වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved