Connect with us

පුවත්

මාලිමාවට බහුතර බලය අවශ්‍ය අලුත් නීති හදන්නයි – උපුල් කුමරප්පෙරුම

Published

on

රටේ සංවර්ධනය අලුත් මාවතකට ගෙන ඒම සඳහා නව නීති සැකසීමට තම පක්ෂයට බහුතර බලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ (මාලිමාව) මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසී ය.

හෙතෙම මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ පැවැති ජාතික ජනබල වේගය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම…

ජනපතිගේ පොරොන්දු තුන

‘‘රටේ සංවර්ධනය අලුත් මාවතකට ගෙන රැගෙන යන්න නම් නව නීති සකස් කරන්න වෙනවා. ඒ සඳහා ජාතික ජන බලවේගයට බහුතර බලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය යි. ඒ වගේ ම ඒ සඳහා ප්‍රථිපත්ති සම්පාදනය පිළිබඳ අවබෝයක්ධ සහිත පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු යි.

මම මැතිවරණ දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ජාතික ලැයිස්තුවේ නම් දෙපාරක් හිටියා. අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි? පාර්ලිමේන්තුව හදන නීති තමයි විධායකය ක්‍රියාත්මක කරන්නෙ. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරණ සමයේ දී ජනතාවට පොරොන්දු තුනක් ලබා දුන්නා. ඒ තමයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, රට නිවැරදි සංවර්ධන මාවතකට ගෙන ඒම. දේශපාලකයන් හොරකම් කළ ධනය නැවත අය කරගැනීම හා හොරුන්ට දඬුවම් ලබාදීම. ඉදිරි අවුරුදු පහ අපි ආණ්ඩුව ගෙනියන්නෙ මේ ප්‍රධාන කරුණු ඉටු කර ගන්නයි. මේ කරුණු ඉටුකරන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඕන.

මහින්දට විශ්‍රාම වැටුප් 5ක්…?

දේශපාලන සංස්කෘතිකෘතියේ වෙනස දැන් අපිට පේන්න තිබෙනවා; නීතිය ක්‍රියාත්මක වෙනවා. අනුර සහෝදරයා ජනාධිපති වෙලා සතියක් ඇතුළත වාහන එකසිය පනස් ගාණක් භාර දුන්නා. තවත් වාහන තැන තැන දාල ගියා. රජයේ මැති ඇමතිවරුන් බොහෝම උනන්දුවෙන් නිල නිවාසවලින් ඉවත් වුණා. නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනකොට හැම කෙනාට ම ඒක එක විදියට බලපානවා. හැබැයි තවමත් අපිට සමහර දේවල් වෙනස් කරගන්න බැරිවෙලා තිබෙනවා. ඒ සදහා පාර්ලිමේන්තුවට යා යුතුයි. උදාහරණයක් විදියට හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන බලමු. ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගනිපු එකක්. ඒක වෙනස් කරන්න පාර්ලිමේන්තුවට යා යුතුයි. මහින්ද රාජපක්ෂ මහත්තයට විශ්‍රාම වැටුප් හතරක්  හෝ පහක් තියෙනවා. රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුප ලබන්නේ අවුරුදු පනස් පහෙන් පස්සේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුප හිමි වෙනවා.

ජනතාව නොදැරිය යුතු වියදම්

ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ  ආර්යාවන්ගෙ වරප්‍රසාද අහිමි කරන්න ඕන. හිටපු ජනාධිපතිවරයකුට කොළඹ හතෙන් ගෙයක් හා ඒ නිවසට කාර්ය මණ්ඩලයක් හිමි වෙනවා. තව කාර්යාලයක් හිමි වෙනවා. ඒ සඳහාත් සියලුම පහසුකම් ආණ්ඩුව ලබා දෙනවා. ආරක්ෂකයන් දෙනවා. ඒ ඔක්කොම වියදම් කරන්නෙ ආණ්ඩුවෙන්. අපි මාසයක් පතා හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ ආර්යාවන්ට වියදම් කරන්න ඕනෙ ද…? නෑ… හැබැයි මේවා නවත්වන්න නම් අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා අලුත් නීති සම්මත කරගන්න ඕන. රට අලුත් සංවර්ධන මාවතකට යන්න ඕන. ඒ සඳහාත් මේ තිබෙන ඇතැම් නීති වෙනස් කරගන්න ඕන.

විදෙස් විනිමය අවශ්‍යතාව

සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක් පටන් ගන්න ගියොත් ආයතන කීයක් පස්සේ යන්න ඕනද? නියාමනය කියන එක අපේ රටේ තේරුම් ගෙන තියෙන්නෙ වැරදියට. දේශීය ව්‍යාපාරිකයා නගා සිටුවීමට නම් මේ නීති වෙනස් විය යුතුයි. අපි තවම වැඩි බරක් දීල තියෙන්නේ සාම්ප්‍රදායික කර්මාන්තවලට යි. නමුත් සංවර්ධක දර්ශක තුළට යන්න මීට වඩා විශාල මුදලක් ඉපයිය යුතුයි. ඒ සඳහා විදේශ විනිමය කියන එක අත්‍යාවශ්‍ය දෙයක්. අපේ රටේ මානව සම්පත, භූමියේ විවිධත්වය එක්ක අපේ රටේ විශාල වශයෙන් විදේශ ආයෝජන ගෙන ඒමේ හැකියාවක් තියෙනවා. නමුත් අපේ රටට විදේශ ආයෝජන එන්නේබොහෝම අඩුවෙන්. එක්දහස් නමසිය හැත්තැ හතේ ඉඳලා අද වෙනකම් අපේ රටට ඇවිල්ල තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනයි. හැබැයි වියට්නාමයට ගිය වසරේ විතරක් ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනකක විදෙස් ආයෝජන ඇවිල්ල තියෙනවා. එහෙමනම් ඇයි ලංකාවට විදෙස් ආයෝජන එන්නේ නැත්තෙ. ඒකට හේතුව තමයි ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. අනෙක් කාරණය අපේ රටේ නිවැරැදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම. අනෙක යටිතල පහසුකම්වල මිල අධික වීම. මේවත් වෙනස් කරන්න අලුත් නීති සම්මත කරගන්න ඕන.

අපිට 2/3 අවශ්‍ය ඇයි…?

පහුගිය ජනාධිපතිවරණයෙ දි අපි වෙච්ච ලොකුම පොරොන්දුව තමයි හොරු ඇල්ලීම. හැබැයි පිටරට හංගපු සල්ලි නැවත ලංකාවට ගේන්න අපිට නීති නැහැ. ඒ සල්ලි නැවත ලංකාවට ගේන්න ජාත්‍යන්තර නීතියට ගැළපෙන විදියට අලුත් නීති හදන්න ඕන. මේව කරන්න අපිට පාර්ලිමේන්තුවේ අලුතින් නීති විශාල ප්‍රමාණයක් සම්මත කරගන්න වෙනවා. අපිට පාර්ලිමේන්තුවේ සුලු බහුතරයක් තියාගෙන මේව කරන්න අමාරුයි. එහෙම වුනොත් නීති සම්මත කර ගැනීමේ ගැටලුවක් මතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පාර්ලිමේන්තුව තුළ අපේ නියෝජනය වැඩි කරගන්න ඕන. එහෙම කරගන්න නම් පහුගිය ජනාධිපතිවරණයෙ දි මාලිමාවට ඡන්දය නොදුන් පිරිසගේ ඡන්දය අපි ලබාගත යුතුයි. ඒ නිසා අපිට ඡන්ද නොදුන් පිරිස අමතන්න ඕන. ඒක තමයි අංක එකට කෙරෙන්න ඕන දේ. අපි අපේ වැඩ පිළිවෙළ ඔවුන්ට පැහැදිලි කරමු.

ගම්මන්පිලගේ වඳ ටැබ්

අපේ අතින් සංවර්ධනය වුන රටක් දකින්න ගම්මන්පිලලට අවශ්‍ය නෑ. යහපාලන ආණ්ඩුව පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර දුන්නා. ටැබ් එක උකුලෙ තියාගෙන වැඩ කරන කොට ළමුන් වඳභාවයට පත්වෙනව කියල ගම්මන්පිල එදා කිව්වා. ඒනිසා ලොකු විරෝධයක් ඇවිල්ල ඒ වැඩේ නැවතුණා. එදා පාසල් ළමුන්ට ටැබ් දුන්න නම් අද වෙනකොට අපේ රටේ පරිඝණක සාක්ෂරතාවය වැඩි වෙලා. ගම්මන්පිලට ඕන අලුතින් හිතන්න බැරි, මොළය වැඩෙන්නෙ නැති පරපුරක් එක්ක දේශපාලනය කරන්න. ගම්මන්පිල වගේ අයගේ දුර්මත කඩන්න අපේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළට ගන්න ඕන.

ඒ නිසා පාර්ලිමේන්තුවට එන්න ඕන රෑට මළ ගෙදර ඇවිල්ල කැරම් ගහන කෙනා කියල හිතන්න එපා. පාර්ලිමේන්තුවට ඕන ප්‍රතිපත්ති හදන්න පුළුවන්, රටේ ආර්ථිකය හසුරුවන්න පුළුවන්  පිරිසක්. ඒ නිසා අවබෝධයක් තියෙන මිනිස්සු මිස මළගෙවල්වල කැරම් ගහන, දාම් අඳින, හාල් බෙදන මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්න එපා.’’

(දලීඩර්)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved