Connect with us

පුවත්

මුදල් කාරක සභා රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ගිහින් නෑ!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (25) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළවී තිබේ.

මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සදහා නිලධාරීන් කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම කරුණු සාකච්ඡා විය.

මුදල් අමාත්‍යාංශය විසින් 2023 ජූනි මස අවසන් වන විට මූල්‍ය තත්ත්වය මෙහිදී ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවට අනුව, අයවැයේ ප්‍රාථමික ශේෂය 0.1% ක අතිරික්තයක් විය. ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව 41.9% කින් බිලියන 1,317 දක්වා ඉහළ ගොස් ඇත. පළමු අර්ධය සඳහා වියදම බිලියන 2,560 ක් වූ අතර එය 40.5% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොලී වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී බිලියන 1,273 දක්වා 51.6% කින් ඉහළ ගොස් ඇත.

පැමිණ සිටි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන මත පදනම්ව රාජ්‍ය මූල්‍ය තත්ත්වය, ආර්ථික කාර්ය සාධනය ආදී කරුණු පිළිබඳව කමිටු සාමාජිකයෝ විවිධ ප්‍රශ්න මතු කළහ. ව්ශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. එවැනි තත්ත්වයන් සදහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කමිටුව විසින් ප්‍රශ්න කරන ලදී.

එසේම ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට අනුකූලව 2048 වර්ෂය වන විට ළඟා කර ගැනීම සැලසුම්කරන අමාත්‍යාංශයේ තිරසාර සැලැස්ම පිළිබඳවද  කමිටුව විසින් වැඩිදුරටත් ප්‍රශ්න කරන ලදී. නමුත් සංවර්ධිත රටකට ලගාවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතියද අමාත්‍යාංශය සතුව ඒ වෙනුවෙන්  නිවැරදි උපායමාර්ගික සැලැස්මක් නොමැති බව මෙහිදී හෙලි විය.

ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික  ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහ නිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මධුර විතානගේ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මයන්ත දිසානායක යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved