පුවත්

මුවා හප්පපු කැබිනට් තාත්තාත්, සත්තු බය කළ පුතාත් නිදැල්ලේ!

Published

on

මීට මාස කීපයකට ඉහතදී උඩවලව ජාතික වනෝද්‍යානයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ වාහනයට මුවෙකු හැපී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කෙරෙන්නේදැයි පරිසරවේදීන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ දෙපාර්තමේන්තුවේ නීති අංශ ප්‍රධානියාගෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් නිසි පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී ඇතැයි වාර්තා වේ.

ජිප් රථ වලින් පැමිණි පිරිසක් යාල ජාතික වනෝද්‍යානයේදී සතුන්ට හිංසාකාරී ලෙස හැසිරීම සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ, පරිසරවේදී නයනක රන්වැල්ල ඇතුළු කණ්ඩායමක් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා හමුවී ඊයේ (26) සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී අදාළ පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳව නිසි පිළිතුරක් ලබාදීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීති අංශයේ ප්‍රධානියා අපොහොසත්ව ඇති බවද වාර්තා වේ.

ඔවුන් කියා සිටියේ අදාළ සිද්ධිය පිළිබඳව දකුණු වනජීවි කලාපයෙන් පරීක්ෂණයක් කෙරෙන බවය. එම සිද්ධිය පිළිබඳව නිසි විමර්ශනයක සිදු නොවී තිබියදී, යාල සිද්ධිය පිළිබඳව නිසි විමර්ශනයක් සිදු වෙතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු විය නොහැකි බවද පරිසරවේදීන් කියා සිටියහ.

එමෙන්ම යාල සිදුවීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිද්‍රාශීලී අයුරින් කටයුතු කරන බවද පරිසරවේදීහු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවසූහ.

යාල සිද්ධියට වනජීවි හා වන සම්පත් ඇමැති මහින්ද අමරවීරගේ පුත්‍රයාගේ සම්බන්ධතාවක් ඇත්දැයි පරිසරවේදීන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ පිළිබඳව නිශ්චිතව තොරතුරු අනාවරණයවී නොමැති බවය.

සාකච්ඡාවෙන් අනතුරුව පරිසරවේදී නයනක රන්වැල්ල මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස කියා සිටියේය.

“යාල සිදුවීම සම්බන්ධව තවමත් පරීක්ෂණ සිදුකරන බවයි ඔවුන් අපට ප්‍රකාශ කළේ. මහින්ද අමරවීර ඇමැතිවරයාගේ පුතා මෙම සිද්ධියට සම්බන්ධ දැයි විමසීමේදී ඔවුන් කියා සිටියේ ඒ පිළිබඳවද විමර්ශනය කරමින් සිටින බවයි. කැබිනට් ඇමැතිවරයෙකුගේ පුතෙක් ඉන්නවා කියලා ඔවුන් කීවෙත් නෑ. කැබිනට් ඇමැතිවරයෙකුගේ පුතෙක් නෑ කියලා කීවෙත් නෑ.

මෙම සිද්ධිය පිළිබඳව මීට වඩා විධිමත් ලෙස විමර්ශනයක් සිදුවිය යුතුයි. මේ පිරිස යාල ජාතික වනෝද්‍යානය ඇතුළත සේම යාල කලාප අංක දෙක ඇතුළතත් මේ පිරිස ඉතාම අමනෝඥ ලෙස හැසිරී තිබෙන බව සහ නීති උල්ලංඝනය කර තිබෙන බව අපිට පෙනීගොස් තිබෙනවා.

පරීක්ෂණ නිසියාකාරව සිදු නොවුණහොත් අපිට සිදුවෙනවා මීට වඩා විධිමත් සේම විද්‍යාත්මක විරෝධයක් පෑමට. ඒ වගේම වනජීවි ඇමැතිවරයාගේ වාහනයට මුවෙක් හැපී මියයෑම පිළිබඳව අපි කනගාටු වෙනවා. අපි කනගාටු වෙනවා වනජීවි ඇමැතිවරයාගේ රියැදුරන් මුවෝ මරණ තත්ත්වයට පත්වීම සම්බන්ධව.

එමෙන්ම, ඒ සම්බන්ධව නීතිය තවමත් පවතින්නේ අකර්මණ්‍ය තත්ත්වයකයි.’’ යැයි පරිසරවේදී නයනක රන්වැල්ල කීවේය.

Trending

Exit mobile version