මන්නාරම නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව වව්නියාව වනජීවී කලාපයේ සහ මන්නාරම අඩවියේ වනජීවී නිලධාරීන් විසින් ඊයේ (06) වාන්කලේ අංගනිස්පුරම් ප්‍රදේශයේ නිවසක් වටලා එහි තිබූ මුහුදු ඌරු මස් කිලෝ 1ක් හා වයස 64ක පමණ වයසැති පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හා නඩුභාණ්ඩ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් විසින් රු.ලක්ෂ 5ක ශරීර ඇප මත එම සැකකරු නිදහස් කරන ලදී.
ලබන මැයි මස 08 දින නැවත නඩුව කැඳවීමට නියමිත ය.
ශ්‍රී ලංකා උතුරු හා වයඹ මුහුදු තීරයේ පෝක් සමුද්‍රය හා මන්නාරම් බොක්ක ආසන්නයේ තෘණ භූමි ආශ්‍රිතව ජීවත්වන මුහුදු ඌරා (Sea Cow) Dugong dugong ක්ෂීරපායී සත්වයෙක් වන අතර Sirenia ගෝත්‍රයට අයත් සත්ත්වයෙකි.
මුහුදු තෘණ ආශ්‍රිතව ජීවත්වන විශාල මත්ස්‍ය ප්‍රමාණයකට අවශ්‍ය මුහුදු තෘණ පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීමත් පෝෂණය කිරීමටත් මුහුදු ඌරා විශාල කාර්යභාර්යයක් සිදුකරයි.
මුහුදු තෘණ මුහුදු ජලය පිරිසිදු කිරීමටත් සමුද්‍ර ඛාදනය වැළැක්වීමටත් විශාල සේවයක් ඉටුකරන පරිසර පද්ධතියක් වන්න අතර මුහුදු තෘණ පද්ධතිය විනාශ වීම පරිසර ගැටළු රාශියක් ඇති වීමට හේතු වේ.
ඉන්දියන් සාගරයේ උණුසුම් නොගැඹුරු මුහුදු තීරයේ මුහුදු තෘණ ආශ්‍රිතව ඇතිවන ඇල්ගී හා වෙනත් ශාඛ විශේෂ වර්ධනය වීම වැළැක්වීම සිදුකරන සත්වයෙක් වන මුහුදු ඌරා වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂක සත්ත්වයෙක් ලෙස නම්කර ඇත .
මෙම සතුන් මස් සඳහා මරා දැමීමත්, සමුද්‍ර දූෂණයත්, අවිධිමත් ධීවර කටයුතුත් නිසා වන්දවීමේ තර්ජනට මුහුණ දී ඇති ඉතාම දුර්ලභ සත්ත්වයෙක් බවට පත්ව තිබේ.
මේ වනවිට මෙවැනි වඳවෙමින් යන වටිනා සතුන් රැකගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගණනාවක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත.
මෙම සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 1992 හදිසි දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.