පුවත්

මූල්‍ය ණය අභියෝග වලට මුහුණු දෙන්න ලංකාවට චීනයෙන් සහය

Published

on

මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බව චීනය අවධාරණය කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වාන්ග් යී මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඔහු මේ බව පවසා ඇත්තේ මේ දින වල චීනයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා පැවති හමුවකදීය.

චීනය, ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ලෙස සහාය දෙන අතරම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් පසු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

‘දරිද්‍රතා උගුලෙන්’ හා ‘සංවර්ධනය නොවීමේ උගුලෙන්’ මිදීමට
ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් ‘දරිද්‍රතා උගුලෙන්’ හා ‘සංවර්ධනය නොවීමේ උගුලෙන්’ මිදීමටත්, කාර්මීකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් සහ කෘෂිකාර්මික ක්‍රියාවලිය නවීකරණය කිරීමටත් චීනය උපකාර කරන බව ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් අත්විඳිනු ලබන තාවකාලික දුෂ්කරතා ජයගෙන, සිය ජාතික තත්ත්වයන්ට අනුකූලව සංවර්ධන මාවතක් සොයා ගනු ඇති බවත්, පුනර්ජීවනය සහ සමෘද්ධිය සාක්ෂාත් කරගනු ඇති බවත් වාන්ග් මහතා සිය විශ්වාසය මෙහිදී පළ කර ඇත.

ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය රැකගැනීමට සහය
ශ්‍රී ලංකාවට ලබාදෙන ස්ථීර සහයෝගය සහ දුෂ්කර කාලවල දී ලබාදෙන කාලෝචිත සහ ඵලදායී සහය සම්බන්ධයෙන් චීනයට සිය ස්තූතිය පළ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදි පෙන්වා දී ඇත.

චීනයෙන්, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ලැබෙන ස්ථිර සහයට මෙන්ම දුෂ්කර කාලවලදී ලබාදෙන කාලෝචිත හා ඵලදායී සහය සඳහා ද අගමැතිවරයා සිය ස්තූතිය පළ කර තිබේ.

කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ඉදිරි දැක්මක් සහිත දෙරට අතර ප්‍රමුඛතම සහයෝගීතා ව්‍යාපෘති මගින් ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙනු ඇති බවත්, කලාපීය සම්බන්ධතා සහ තිරසාර සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවට ආහාර ස්වයංපෝෂිතභාවය අත්කර ගැනීමට හා ප්‍රධාන කර්මාන්. ක්ෂේත්‍ර වල සංවර්ධනය වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා ආර්ථිකය, වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මය, සංචාරක, බලශක්ති සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව, චීනය හා එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

(මූලාශ්‍රය : CGTN)

Trending

Exit mobile version