මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු සීමා කර තිබේ.
හිඟ බදු ගෙවීම තවදුරටත් පැහැර හැරීම හේතුවෙන් සුරාබදු කොමසාරිස්වරයා විසින් එම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඒ අනුව දෙපාර්තමේන්තුව පැනවූ සීමාවලට යටත්ව නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ දැයි අධීක්ෂණය සඳහා නිලධාරීන් කණ්ඩායමක් ද යෙදවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.
ලබන 30 වැනිදා දක්වා හිඟ බදු ගෙවීමට මෙන්ඩිස් සමාගමට තවදුරටත් අවස්ථාව පවතින අතර එම දිනයට බදු මුදල් නොගෙවුවහොත් එදිනෙන් පසු මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන අත්හිටුවන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මෙන්ඩිස් සමාගම රජයට ගෙවීමට ඇති හිඟ බදු මුදල රුපියල් බිලියන 5ක් ඉක්මවයි.
ඇප ඉල්ලූ අධ්‍යක්ෂකගේ රීට් පෙත්සම ඉවතට
මේ අතර, රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනේද්‍ර ජෝන් නමැත්තා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පෙත්සම විභග කිරීමට අද (12) තීරණය කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ඉවත්කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා රන්දෙව් දිනේද්‍ර ජෝන් නමැත්තා ගොනු කළ රිට් පෙත්සමේ අතුරු ඉල්ලලීම සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එසේ දැනුම් දුන් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු වලට මේ අවස්ථාවේදී මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව පැවසීය.