Connect with us

පුවත්

මෙරට ආර්ථිකයේ ප්‍රගතිය, ජපන් මුදල් ඇමතිගේ පැසසුමට

Published

on

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට අත් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බවද සඳහන් කළේය.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (Mr. SUZUKI Shunichi) මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී ආර්ථික ස්ථායීකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳ අවධානය යොමු කරමින් සුවිශේෂී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට රජය ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට සහ වත්මන් ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීම වෙනුවෙන් ජපාන රජය ලබාදුන් සුවිශේෂී සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

එසේම ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ දි විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය හේතුවෙන් යෙන් මුදල් ඒකකයෙන් ලබා දී තිබූ ණය අත්හිටුවීම පිළිබඳ සඳහන් කළ ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සමඟ යෝජිත අවබෝධතා ගිවිසුමට එළැඹීමෙන් පසුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධීක්ෂණය කරනු ලබන ණය තිරසරභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම ණය මුදල් නැවත ලබාදීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම  පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජපාන රජයෙන් ලබාදිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව ද ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට තමා කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් තරගකාරී හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

වෙළෙඳ ශේෂය හිතකර මට්ටමක පවත්වාගැනීම සඳහා අපනයන කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සඳහා නව ආර්ථික ආකෘතියක් ඇති කර ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද පැවසීය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන මෙම වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බව ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමින් මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ජපාන නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රතිසංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ජපාන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ජපාන දූත පිරිස සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved