Connect with us

පුවත්

මෙරට දූත පිරිසක්, ඉන්දීය විදේශ අමාත්‍ය හා ලෝක් සභා කථානායකව හමු වෙයි

Published

on

ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  ප්‍රමුඛ මෙරට  දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර සංස්කෘතිකමය වශයෙන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පවතින සමීප සබඳතා පිළිබඳව  මෙහිදී සාකච්ඡා විය. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක් මුල්ලේ පවතින සමීප සබඳතාව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගත යුතු බව ඉන්දීය කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වයේදී ශ්‍රී ලංකාවට නිරතුරුවම ශක්තියක් වන බවට ඉන්දීය ලෝක් සභා කතානායකවරයා මෙහිදී සහතික විය.

මෙරට කථානායකවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ගරු ආචාර්ය එස් ජයශංකර් මහතා අතර හමුවක්ද පැවැත්විණි. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා සියලු සහයෝගය ලබා දෙන බවට මෙහිදී  ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරක පිරිස වැඩි කිරීම සඳහා පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. එසේම ඉන්දියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ වීසා පහසුකම්  කඩිනම් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරකයන්ට නොමිලේ වීසා පහසුකම් ලබා දීම  පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙරට ලොකු ලූණු මිල ගණන් විශාල ලෙස ඉහළ යෑම සඳහා විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එසේම ශ්‍රී ලංකාවේ ආයෝජනය සදහා ඉන්දියානු ආයෝජකයන්ට මෙහිදී කතානායකවරයා ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය ආයෝජකයන් රැසක් කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම පසුගිය සමයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  පෙනී සිටීම පිළිබඳව  කථානායකවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය කෘතවේදීත්වය පළ කළේය. වසර තුනකින් ගෙවීම සඳහා ලබා දුන් ඉන්දියානු රුපියල් මිලියන 550ක ණය මුදල ගෙවීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද කථානායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය. අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවේ සැබෑම ඥාතියෙක් ලෙස මෙරටට ලබා දෙන්නා වූ සහයෝගය පිළිබඳව කතානායකවරයා සිය විශේෂ ගෞරවය මෙහිදී පළ කර සිටියේය.

කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිස ඉන්දියානු රාජ්‍ය සභා සභාපති සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් දන්කර් මහතා ද (Jagdeep Dhankhar) හමුවිය. මෙම හමුව පිළිබඳව සිය සතුට පළ කරමින් රාජ්‍ය සභා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවෙන් මෙවැනි දූත පිරිසක් සම්බන්ධ වූයේ වසර පහකට පසු  බවයි. දෙරට මහජනතාව අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය තවදුරටත් ආරක්ෂා කර ගත යුතු බව මෙහිදී සාකච්ඡා විය. දෙරටේ  ධීවර කර්මාන්තයේ දී මුහුදු සීමාව ඉක්මවා යාම ඇතැම් විට චේතනාන්විතව සිදු නොවිය හැකි බැවින් ධීවරයන් අත්අඩංගුවට ගැනීමේදී ඒ සඳහා දෙරටම යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද ඉන්දියානු රාජ්‍ය සභා සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

නියෝජ්‍ය කථානායක – අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති – අංගජන් රාමනාදන්, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, වරුණ ලියනගේ, වීරසුමන වීරසිංහ, එම්. උදයකුමාර්, එම්. රාමේශ්වරන්, ජගත් සමරවික්‍රම යන මහත්වරු ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙම දූත පිරිසට එක්ව සිටියහ.

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved