Connect with us

පුවත්

මෙරට පුද්ගලයකු වසරකට ප්ලාස්ටික් කිලෝ 12ක් පාරිභෝජනය කරනවා – ඇමැති ජයකොඩි

Published

on

මෙරට පුද්ගලයකු වසරකට දළ වශයෙන් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 12ක් පාරිභෝජනය කරන බව පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි පැවැසීය.

ලෝක පරිසර දිනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම මාධ්‍ය හමුව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේ තේමාව වන්නේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු’ යන්නයි.

කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී ජූනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලෝක පරිසර දිනය සැමරීමට සැලසුම් කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ‘කෑගලු ප්‍රකාශනය’ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරටදී වසරකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක (250,000)ක පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වන බවත්, ඉන් සියයට දහයක් (10%)ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කෙරෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ලෝකයේ ප්ලාස්ටික් පාරිභෝජනය ඉකුත් වසර (2024) වන විටදී මෙට්‍රික් ටොන් මිලියන හාරසිය විස්සක් පමණ වන බවද, මෙම ප්‍රමාණය වසර 2050 පමණ වන විටදී මෙට්‍රික් ටොන් බිලියන තිස් හතරක් දක්වා ඉහළ යනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

සූර්යාලෝකය, බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ආදී විවිධාකාර හේතු මත ප්ලාස්ටික් කුඩා අංශුවලට (මිලි මීටර් පහට වඩා කුඩා අංශු) කැඩී ගොස් මයික්‍රෝ ප්ලාස්ටික් නිර්මාණය වන බවත්, මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිර වාහිනී පද්ධතිවලට එකතු වී ඒවාට හානි සිදුවන බව කී ඒ මහතා මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එක්වීම නිසා ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ මෙරටදී වසරකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්නව දහසත් (249,000) – දෙලක්ෂ පනස දහසත් (250,000)ත් අතර ප්‍රමාණයෙන් සියයට හැත්තෑ තුනක් (73%)ක් පමණ එකතු කළද, ඉන් අනතුරුව සිදු කරන්නේ ඒවා විවිධ ස්ථානවල ගොඩගැසීම බවයි.

මුහුදු තෘණ පරිසර පද්ධතිය විසින් කාබන් අවශෝෂණය කරගන්නා බවත්, එය වනාන්තරවලට වඩා සිව් ගුණයත් දස ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ බවත් පෙන්වා දුන් ඇය මුහුදට ප්ලාස්ටික් එකතුවීම හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වන බවද සඳහන් කළාය.

පුවත්

තද වැසි සමඟ සුළං ගැන කාළගුණයෙන් අනතුරු අඟවයි

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති වෙයි.

උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

Continue Reading

පුවත්

ආණ්ඩුව මෙතෙක් කළ සියල්ල අසාර්ථකයි – හිටපු ජනපති රනිල්

Published

on

By

ආණ්ඩුව මෙතෙක් කළ සියල්ල අසාර්ථක බවත්, පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 23ක් අඩු වීමෙන් එය මනාව පැහැදිලි වන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (29) පැවැති පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අමතමින්ය.

“මේ සැරේ දාලා තියෙන්නේ අලුත් මුහුණු. ගිය පාර්ලිමේන්තු ඡන්දෙදි සම්ප්‍රදායික අය ප්‍රතික්ෂේප කළා. පළපුරුදු අය ප්‍රතික්ෂේප කළා. එල්බෝඩ් ඉදිරියට එව්වා. තාම ලයිසන් අරගෙන නැහැ.” යැයි ද ඔහු කීය.

“සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එවැනි ඡන්දයක් පැවැත්වූ විට වැඩිම ඡන්ද ලැබෙන්නේ බලය තිබෙන ආණ්ඩු පක්ෂයටයි. නමුත් මෙහිදී ඊට වඩා දෙයක් වුණා. මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් යළිත් වරමක් ඉල්ලුවා. ඔවුන්ට කලින් දුන් වරම තහවුරු කරන්නැයි කිව්වා. නමුත් සිදු වුණේ කුමක්ද? පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබුණු ලක්ෂ 68ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45ක් දක්වා අඩු වුණා. ඒ කියන්නේ ලක්ෂ විසිතුනක පිරිසක් ආණ්ඩුවට අදාළ සහතිකය ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුව වැටුණා. සාමාන්‍යයෙන් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕන. වරම ලැබෙන්නේ නැතිනම් ඒක විශාල පසුබැසීමක්. ඒ කියන්නේ මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

අනෙක් පක්ෂවලට සිදුවුණේ කුමක්ද? අප පාර්ලිමේන්තු ඡන්දයට තරග කළේ පොදු පෙරමුණ සමග එකට එකතු වෙලා. ඒ අනුව අපට ඡන්ද පන්ලක්ෂ හැටහත් දාහක් ලැබුණා. මේ සැරේ පොදු පෙරමුණ වෙනම ගියා. අප අලියා ලකුණෙන් ආවා. සී.ඩබ්ලිව්.සී කුකුලා ලකුණෙන් ආවා. මේ සියල්ල එකතු කළ විට අපට ඡන්ද නවලක්ෂ හතලිස් හත් දහස් එකසිය පනස් අටක් ලැබී තිබෙනවා. එසේ නම් අප කණ්ඩායමට අලුතින් ඡන්ද තුන් ලක්ෂ අසූ දහසක් වැඩි වෙලා තිබෙනවා. ඡන්ද වැඩිකර ගත්තා යැයි එක අතකට අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. අනෙක් අතින් ඒ ප්‍රමාණය ලක්ෂ දෙකකට සීමා වූ නිසා අපට සෑහීමකට පත්වෙන්න බෑ. ඊට වඩා වැඩි වෙන්න තිබුණා. අද තිබෙන තත්ත්වය මේක තමයි. ඒ සභා පුළුවන් තැන්වල එකට එකතු වී බලය පිහිටුවීමට පක්ෂ සියල්ල කතා කරමින් සිටිනවා. අනිත් තැන්වල විපක්ෂය ලෙස ක්‍රියා කරනවා. ඒක ඒ අය කරගෙන යාවි අපෙත් මහලේකම්තුමිය, සභාපතිතුමා ජාතික සංවිධායකතුමා මෙන්ම උප සභාපතිතුමා මේ ගැන ඒ අය සමග කතා කරගෙන යනවා. පුළුවන් තැන්වල එකට එකතු වී අප ඒ වැඩකටයුතු කරනවා. මේ රට අසීරු අවස්ථාවේ ගොඩ ගත්තේ අපි. අනෙක් පක්ෂ සමග එකතු වී අප එය කළා. ඒ දර්ශනය අනුව ඉදිරියට යා යුතුයි. පක්ෂ ගොඩනැගීමේදී අපේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද කොට්ඨාසයි.”

Continue Reading

පුවත්

ගුවන් සේවිකාවකට අතවර කළ නැව් කප්පිත්තෙක් රිමාන්ඩ්

Published

on

By

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සේවයේ නිරත වී සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී අධික බීමතින් ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යාපනය, වඩුක්කෝට්ටෙහි පදිංචි 49 හැවිරිදි කනගසභාපති කුෂාන්තන් නමැති සැකකරු ලබන මස 5 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය.

නැවක කපිතාන්වරයකු ලෙස කටයුතු කරන සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඊ.කේ. 650 දරන එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පැමිණෙමින් සිටින අතරතුරදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කරමින් සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී ලිංගික අතවර කර ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳව අදාළ ගුවන් සේවිකාව වහාම ගුවන් යානයේ නියමුවා දැනුවත් කර ඇති බව දන්වා සිටි පොලිසිය අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වූ බවද දන්වා සිටි පොලිසිය ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කළ බවද දන්වා සිටියේය.

මූලාශ්‍රය – දේශය 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved