Connect with us

පුවත්

“මෙරට වන ආවරණය ගැන මාධ්‍ය වාර්තා අසත්‍යයි”

Published

on

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කරයි.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන බවත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ :

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර 2020 වර්ෂයේ සිදු කළ  සංගණනය මෙම වසරේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිත බවත් 2015 වර්ෂයේ දී සිදුකළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුල ක්‍රියාත්මක වන නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16% ක් දක්වා අඩුවීමක් කිසිසේත් සිදුවී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසිය.

 මාධ්‍ය වාර්තා අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 16% ක් නම් රටෙහි පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,040,000 විය යුතු බවත්, එනම් 2015 සිට වසර හත තුල වනාන්තර හෙක්ටයාර 872,970 ක් විනාශ වී තිබිය යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා එය වසරකට හෙක්ටයාර 124,710 ක් වන අතර දිනකට හෙක්ටයාර 341ක වන විනාශයක් වියයුතු බව ද සඳහන් කළේය.

වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරිමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය, වනාන්තර ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමවේදය, වනාන්තර ප්‍රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩුවී ඇති බව සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තාවල අදාළ දත්ත ලබාගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමේ විශාල වන විනාශයක් සිදුවේ නම් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී  ලංකා පොලීසිය මෙන්ම ගුවනින් වනාන්තර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආදී ආයතන මගින් නිරීක්ෂණය කළ යුතුය. නමුත් මෙවැනි විශාල වන විනාශයන් මෙම කිසිඳු ආයතනයක් වෙත වාර්තා වී නොමැත. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර සිතියම් යාවත්කාලීන කරමින් සිටින බවත් එම කටයුතු වලදී ද මෙවැනි වන විනාශයක් නිරීක්ෂණය වී නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පුවත්

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි

Published

on

By

ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සටන් විරාමය ආරම්භ වී ඇති බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර, සටන් විරාමය  ක්‍රියාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් පවසා තිබූ පසුබමක ෙදෙරට එම සටන් විරාමයට එකඟතාවය පළ කර තිබේ.

Continue Reading

පුවත්

අගමැතිනිය කැනඩාවට

Published

on

By

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස මෙලස කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය,  ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන  කරුණු පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය. 

Continue Reading

පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව සිහිපත් කළාය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළාය.

ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම යන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළාය. අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කලේය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved