පුවත්

මෙරට විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නියට

Published

on

ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදී සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති – පූජ්‍ය දෙහිපේ නන්ද හිමියන් පවසා සිටියි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව (20) දින මහනුවර සහස් උයන දක්වා වැඩම කල අතර , (21) දින දේව ප්‍රතිමාව නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කෙරිණ.

නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර නාවලපිටිය සිට හැටන් හරහා මවුස්සාකැලේ යුධ හමුදා කඳවුර දක්වා වැඩම කර (23) දින  දේව ප්‍රතිමාව යුධ හමුදා කදවුරේ සිට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය දක්වා වැඩම කරවා එහි තැන්පත් කිරීමට නියමිතය.

ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවත්, ගම්පොල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මුල්‍ය අනුග්‍රහය මත මෙය නිර්මාණය කල බවත් නන්ද හිමියෝ කියා සිටියහ.

සමන් දේව ප්‍රතිමාව වැඩම කල මාර්ගය දෙපස සමන් දේව ප්‍රතිමාව වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

Trending

Exit mobile version