පුවත්

මොරගොඩ නවදිල්ලියට ගිහින් නිර්මලා හමුවෙයි!

Published

on

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය  නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමුවී තිබේ.

ඔවුන් හමුව ඇත්තේ ආර්ථීක හා මුල්‍ය සබඳතා තව දුරටත් දිරියට ගෙනයෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

වත්මන් ආර්ථික අර්බුදය තුළ ඉන්දීය ආර්ථික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අමාත්‍ය සීතාරාමන් මහත්මිය සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව දැනට කරගෙන යන සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව, මහ කොමසාරිස් මොරගොඩ මහතා මෙහි දී අමාත්‍ය සීතාරාමන් මහත්මිය දැනුම්වත් කර තිබේ. 

ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනගහනයේ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කොටස් කෙරෙහි ඇති කරන දැඩි බලපෑම පිළිබඳව ද මෙහි දී සඳහන් කරන කර ඇත.

අභියෝගාත්මක සහ දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති හදිසි ආධාර සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් සමග කටයුතු කිරීමේ දී මුදල් අමාත්‍යවරියගේ පෞද්ගලිකවම අවධානය යොමු කර මැදිහත්වීම් පිළිබඳව මහ කොමසාරිස්වරයා නැවත වරක් අමාත්‍ය සීතාරාමන් මහත්මියට ස්තූති කර ඇති බවද වාර්තා වේ.

මහ කොමසාරිස් මොරගොඩ සහ අමාත්‍ය සීතාරාමන් මහත්මිය ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයේ තත්ත්වය සමාලෝචනයට ද ලක්කර ඇත.

දෙරට අතර බහුවිධ ආර්ථික ඒකාබද්ධතාවයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද මහ කොමසාරිස්වරයා මෙහි දී අවධාරණය කර තිබේ.

Trending

Exit mobile version