Connect with us

පුවත්

යාපනේදී අනුරට එරෙහිව විරෝධතා කරතැයි සැක පිරිසක් උසාවි කැඳවයි

Published

on

මේ මස අගදී උතුරේ සංචාරයක නිරතවීමට නියමිත ජනපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව විරෝධතා පවත්වනු ඇතැයි සැක කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා ඇතුළු දෙමළ ක්‍රියාධාරීන් පිරිසකට අද (30) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මේ නියෝගය නිකුත් කර ඇත්තේ යාපනය පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුවය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් අත්සන් තබා ඇති නියෝගයේ සදහන්ව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීමට සහභාගි වන මොහොතේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන්  අර්ච්චුනා, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නායක සර්වානන්ද ශිවම් සශිකරන්, විරෝධතා කණ්ඩායමේ යාපනය දිස්ත්‍රික් නායක පෝන්රාජ් ප්‍රේම් ඩග්ලස් ප්‍රභාකරන්, අනියම් සෞඛ්‍ය නිලධාරී සංගමයේ නායිකා එස්. ජස්මින්, `හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානයේ නායක මුරුගයියා කෝමගන් යන අය විසින් විරෝධතා දියත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වී ඇතැයි යාපනය පොලිසියේ මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ජනවාරි 29 දා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

අධිකරණ නියෝගයේ සදහන් වන පරිදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) (2)  (3) වගන්ති යටතේ  මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස යි.

අධිකරණය නියෝග කර ඇත්තේ පොලිසිය විසින් නම් කර ඇති ඉහත නම් සදහන්  පස් දෙනාට ඔවුන්ගේ කරුණු දැක්වීම සදහා නීතිඥයන් මාර්ගයෙන් හෝ සෘජුව ජනවාරි 30 වැනි බ්‍රහස්පතින්දා උදේ 9.30 ට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට ජනවාරි 31 දා සහභාගී විමට නියමිතව ඇත.

කෙසේවුවද, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ඊයේ (29) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පසුව ඔහුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර මෙම නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා මෙම මස ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුළ බවට තොරතුරු වාර්තා විය.

සබැඳි පුවත්

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved