ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නියෝග සළකා බලා අනුමතිය ලබාදීම සිදුවිය.
මෙහිදී ක්‍රීඩාවට අදාළව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (World Anti-Doping Agency / WADA) මගින් සෑම වසරකට වරක් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ද මෙම ගැසට් පත්‍රය මගින් අදාළ නීතිමය යාවත්කාලීන කිරීම සිදුකරන බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙහිදි ඇතැම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවට අලුතින් එක්වන බවත් ඇතැම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් වන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස ‘කැෆේන්’ නම් ද්‍රව්‍ය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.
මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබා ගැනීමට ඇති හැකියාව, දිවයින පුරා යෞවන සමාජ පිහිටුවීමට ඇති ගැටලු, තරුණ සේවා නිලධාරීන්ගේ හිඟය, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීමේ අවශ්‍යතාවය ආදි කරුණු මෙම අවස්ථාවට සහභාගීවූ මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඒ අනුව ගතහැකි පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.