පුවත්

යුද හමුදා බස් රථයක් යතුරුපැදියක ගැටී තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Published

on

යුද හමුදා බස් රථයක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් අද (22) අලුයම තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි.

මියගිය දැරියගේ මව බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන අතර එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දී මෙම අනතුර සිදුව තිබුණේ ඇය සිය දියණිය සමඟ කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදීය.

හමුදා බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කරමින් එය බණ්ඩාරගම සමුපාකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාර්ගයේ දකුණු පසින් අපරික්ෂාකාරී ලෙස ධාවනය කරද්දී මාර්ගය මැදදී යතුරුපැදියේ ගැටී අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබේ.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

දැරියගේ මව බණ්ඩාරගම දිසා රෝහලේ ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහල වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙන අතර ඇය අධික කම්පන තත්ත්වයට පත්ව සිටි බව වාර්තා වේ.

දැරිය පැලඳගෙන සිටි ආරක්ෂක හිස්වැස්ම කැබලි බවට පත්ව අනතුර සිදු වූ ස්ථානයේ වැටී තිබූ බවද පොලීසිය පැවසීය.

හමුදා බස්රථයේ රියදුරු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(ඡායාරූපය : Accident1st)

Trending

Exit mobile version